පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්’ණය ජපන් ආයෝජකයකුට දෙයි

0
100
NEWSNOW | – පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්’ණය (Floating Market) වසර 30 බදු පදනමක් මත ජපන් ආයෝජකයකුට ලබාදීමට තීරණය කර තිබේ.
ඒ සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් සහ ජපන් ආයෝජක අකිර හිරෝස් (Akira Hirose) මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරීයේදී අද (27) දින සිදු කෙරුණි. ඒ අනුව පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්’ණය කළමනාකරණය හා පවත්වාගෙන යාම මෙම ජපන් ආයෝජනය මඟින් සිදු කෙරේ.
මෙම පාවෙන වෙළඳ සංකීර්ණය නිසියාකාරව නඩුත්තු නොවන බවට පසුගිය කාලය පුරාවට නාගරික සංවර්ධන අධිකාරියට විවිධ චෝදනා එල්ල වූ බැවින් මෙම පියවර ගත් බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය කියයි. ආර්ථික ප්‍රශ්න නිසා නිවාස සංවර්ධන අධිකාරියේ මුදල් යොදවා මෙය සංවර්ධනය කිරීමට අපහසු බැවින් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ හෝ සංවර්ධනය කිරීමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී තිබිණි.
ජපන් නගරය හා පාවෙන වෙළඳපොළ යන තේමාවෙන් පාවෙන වෙළඳ සංකීර්ණය සංවර්ධනය කිරීමට නියමිතය.සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති කාලය මාස 6කි.
පිටකොටුවේ බැස්ටියන් මාවතේ පිහිටි පාවෙන වෙළඳපොළ වෙළඳ කුටි 92 කින් සමන්විතය. බේරේ වැවේ බෝට්ටු මත ස්ථාපිත වෙළඳ කුටි ගණනාවක් ද එහි තිබේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇත්තේ දැනට එහි වෙළදාම් කටයුතු සිදු කරන කඩ හිමියන්ට කිසිදු අසාධාරණයක් නොවන අයුරින් මෙය සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසයි.