ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන ආහාර ප්‍රමිතියෙන් තොර බව හෙළි වෙයි

0
87

NEWSNOW | – කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව හෙළි කෙරේ.

මේ බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

එසේම ඇතැම් අවස්ථාවලදී රෝගීන්ගේ ආහාර වේල සඳහා ලබාදෙන එළවළුද කුණු වීමට ආසන්න ඒවා බවත් රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන තේ වේල් සඳහා භාවිත කරන පිටි සහ සීනි ද කල් ඉකුත් වීමට ආසන්න ඒවා බවත් ඔහු පැවසුවේය.

ඇතැම් අවස්ථාවලදී ආහාරයට නුසුදුසු මාළු සේවකයන්ගේ ආහාර වේල් සඳහා ආහාර සැපයීම බාර අදාල කොන්ත්‍රාත් සමාගම ලබාදෙන බව වෛද්‍ය බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ සේවකයන් ගණනාවක් පැමිණිලි කර තිබෙන නමුත් තීරණය ගත යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිසාවෙන් රෝහල් බලධාරීන්ට කිසිවක් කළ නොහැකි බව වෛද්‍ය බෙල්ලන මහතා පැවසුවේය.

මේ පිළිබඳ කීප වතාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලිපි මගින් දැනුවත් කර තිබෙන නමුත් තවමත් ඒ පිළිබඳ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති යැයි වෛද්‍ය බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.

රෝහලට ආහාර සපයන අදාල කොන්ත්‍රාත් සමාගම බන්ධනාගාර, හමුදා කඳවුරු සහ රාජ්‍ය ආයතනවලටද ආහාර සපයන බව වෛද්‍ය බෙල්ලන මහතා පැවසුවේය.

අදාල කොන්ත්‍රාත් සමාගමට වියළි ආහාර සලාක සඳහා මසකට මිලියන 76ක මුදලක්ද මාළු සඳහා මසකට මිලියන 15ක මුදලක්ද ලබාදෙන බව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේය.