ස්ථාවර වර්ධන වේගයක් පවත්වා ගැනීමට නොහැකි වීම හේතුවෙන්, ප්රමුඛ පෙළේ වීඩියෝ ප්රවාහන (Streaming) සේවා සපයන්නෙකු වන නෙට්ෆ්ලික්ස් සමාගම සිය සේවක සංඛ්යාවෙන් 6%ක ප්රමාණයක් හෙවත් රැකියා 1,000ක් පමණ කපා හැරීමට තීරණය කර ඇත.
අමෙරිකානු මාධ්ය වාර්තා කරන ආකාරයට, සමාගමේ සම-ප්රධාන විධායක නිලධාරීන් වන ටෙඩ් සරැන්ඩොස් (Ted Sarandos) සහ ග්රෙග් පීටර්ස් (Greg Peters) විසින් නිකුත් කරන ලද අභ්යන්තර සටහනක මේ බව සඳහන් වේ. “අපගේ මෙහෙවර වන – ලෝකය සතුටු කිරීම – අභියෝගාත්මක එකක් වන අතර, එය සාක්ෂාත් කර ගැනීම සඳහා අපගේ ජනතාව සහ සම්පත් වඩාත් විනයානුකූලව යෙදවිය යුතුය” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
වීඩියෝ ප්රවාහන වෙළඳපොළේ ඉහළම ස්ථානය හිමිකරගෙන සිටියද, නෙට්ෆ්ලික්ස් සමාගමට පෙර මෙන් වේගයෙන් වර්ධනය වීමට වර්තමානයේදී නොහැකි වී තිබේ. දෙවන කාර්තුව තුළ ආදායම් වර්ධනය 13.4%ක් වූ අතර, එය පළමු කාර්තුවේ වාර්තා වූ 16.2%ක අගයට වඩා මන්දගාමී වීමකි. එසේම, සමාගම විසින් තෙවන කාර්තුව සඳහා 11.7ක වර්ධන වේගයක් පමණක් අපේක්ෂා කරයි. වසර ගණනාවක අඛණ්ඩ වර්ධනයකින් පසු වේදිකාව තුළ පරිශීලකයන් ගත කරන කාලය පහළ යෑම සහ වසරේ ආරම්භයේ සිට සමාගමේ කොටස් මිල 15%කින් පහළ වැටීම මෙම තීරණයට හේතු වී ඇත.
වර්තමාන මූල්ය දුෂ්කරතා හමුවේ අඩු වියදම් අන්තර්ගතයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සමාගම මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

