කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති විය හැක. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර එහි සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර අගයක් ගනී.
කෙසේ වුවද, කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වාත්, ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වාත් වැඩි වීමේ හැකියාවක් පවතී.
මුහුදේ ස්වභාවය සලකා බැලීමේදී, කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බැවින්, නැවත දැනුම් දෙන තුරු එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට උපදෙස් දෙනු ලැබේ. එමෙන්ම ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකි බැවින් එහි ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන පිරිස් මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුය. මීට අමතරව, මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.5 ත් 3.0 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බැවින්, ඒ පිළිබඳව ද අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

