2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ් තරංගට

0
6

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ දිනාගත්තේය.

ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (01) අලුයම නිමාවට පත් විය.

තරගයේ දෙවැනි උත්සාහයේදී රුමේෂ් මීටර් 89.75ක දුරක් හෙල්ලය විසිකරමින් සිය ජීවිතයේ විශිෂ්ටතම දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ අතර, එම ප්‍රතිඵලය ඔහුට පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම හිමිකර දුන්නේය.

මෙය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත් 6වැනි රන් පදක්කම වේ. එසේම, 2006 වසරේ බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන විදානගේ දිනාගත් රන් පදක්කමෙන් පසු වසර 20කට පසුව ශ්‍රී ලංකාවට හිමි වූ පළමු පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම ද මෙයයි.

මීට අමතරව, 1950 වසරේ නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි යාර 440 කඩුලු පැනීමේ ඉසව්වෙන් ඩන්කන් වයිට් රන් පදක්කම දිනාගැනීමෙන් වසර 76කට පසු, ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මලල ක්‍රීඩා ඉසව්වකින් දිනාගත් පළමු රන් පදක්කම ලෙසද මෙය ඉතිහාසගත විය.

තරගයට පෙර රුමේෂ්ගේ ප්‍රධානතම අභියෝගකරු ලෙස සැලකුණු 2021 ඔලිම්පික් ශූර ඉන්දියාවේ නීරාජ් චොප්රා මීටර් 85.83ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කමෙන් සෑහීමට පත් විය. ඉන්දියාවේම යෂ් වීර් සිං මීටර් 85.41ක දුරක් හෙල්ලය විසිකර ලෝකඩ පදක්කම දිනාගත්තේය.

රුමේෂ්ගේ මෙම ජයග්‍රහණයත් සමඟ 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව දිනාගත් සමස්ත පදක්කම් සංඛ්‍යාව දෙක දක්වා ඉහළ ගියේය.

මීට පෙර පැවති පැරා කවපෙත්ත විසිකිරීමේ (F42-44/F61-64) ඉසව්වේදී පාලිත බණ්ඩාර රිදී පදක්කමක් දිනාගනිමින් ශ්‍රී ලංකාවට මෙවර තරගාවලියේ පළමු පදක්කම හිමිකර දී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here