වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 78,125 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඊයේ (21) දිනයේදී පමණක් අලුතින් රෝගීන් 1,097 දෙනෙකු වාර්තා වී ඇති අතර, පවතින තත්ත්වය හමුවේ දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 162ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ. පසුගිය මාස කිහිපය පුරා රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන අතර, මැයි මාසයේදී රෝගීන් 8,590ක් ද, ජූනි මාසයේදී රෝගීන් 21,535ක් සහ ජූලි මාසයේ ගතවූ දින 21 තුළ පමණක් රෝගීන් 22,749 ක් ලෙස එය සටහන්ව ඇත. මේ වන විට වසර තුළ ඩෙංගු මරණ 56 ක් සිදුවී ඇති අතර, රෝගීන් මියයෑමේ අනුපාතිකය 0.07% ක් වේ.
පළාත් මට්ටමින් සලකා බැලීමේදී වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර, මුළු රෝගීන්ගෙන් 52.78% ක් එනම් රෝගීන් 41,236 ක්ම වාර්තා වන්නේ එම පළාතිනි. මීට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 11,950 ක් (15.30%) සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 6,603ක් (8.45%) වාර්තා වී තිබේ. දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වන 16,478ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,540ක් වාර්තා වේ. එමෙන්ම මාතර (5,454), මහනුවර (5,228) සහ කළුතර (5,135) යන දිස්ත්‍රික්කවලින් ද ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මෙම අවදානම් තත්ත්වයෙන් මිදීම සඳහා තමන් අවට පරිශ්‍රයන් පිරිසිදුව තබා ගන්නා ලෙසත්, උණ රෝග ලක්ෂණ ඇත්නම් වහාම සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි.

