කොරියානු ජනරජයේ තානාපතිනිය ආරක්‍ෂක ලේකම්වරයා හමු වෙයි.

0
12

කොරියානු ජනරජයේ තානාපතිනී Miyon Lee මැතිණිය ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඊයේ (ජූලි 01) කොළඹ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශයේදී හමුවී සුහද සාකච්ඡාවක නිරත විය.

මෙම සාකච්ඡාවේදී දෙරට අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු වු අතර, ආරක්‍ෂක (defence), යුද පුහුණු සහ හුවමාරු වැඩසටහන් (military training and exchange programmes), ධාරිතා වර්ධනය (capacity building) සහ කලාපීය ස්ථාවරත්වය (regional stability) යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ඉහළ නැංවිය හැකි ආකාරයන් පිළිබඳවද ද්විපාර්ශ්වික වශයෙන් අදහස් හුවමාරු කර ගැනිණි.

මීට අමතරව, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සාමාජිකයන් සඳහා කොරියානු ජනරජයේ පුහුණු අවස්ථා පුළුල් කිරීම සහ ආරක්‍ෂක ක්ෂේත්‍රයට අදාළ ප්‍රදර්ශන, ජාත්‍යන්තර ප්‍රදර්ශන (international expos) මෙන්ම, ඒකාබද්ධ යුද අභ්‍යාස (joint military exercises) සඳහා සහභාගී වීමට ඇති අවස්ථා පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කෙරිණි. කොරියානු ජනරජය ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩව ලබා දෙන සහයෝගය සහ සහයෝගීතාව ආරක්‍ෂක ලේකම්වරයාගේ ඇගයීමට ලක් වූ අතර, දෙරට අතර ආරක්‍ෂක සබඳතා පුළුල් කිරීමට සහ සමීප සහයෝගීතාවක් ඇති කිරීමට තම රට කැපවන බව තානාපතිනිය යළිදු අවධාරණය කළාය.

මෙම අවස්ථාවට කොරියානු ජනරජයේ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Eunji Kang මැතිණිය ද සහභාගී වූවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here