මෙම වසරේ ඉදිරි මාස 6ක කාලය සඳහා ජල ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.වසරේ මුල් මාස හය තුළ ජල පිරිපහදු කටයුතු වෙනුවෙන් ජල සම්පාදන මණ්ඩලයට අමතර විශාල පිරිවැයක් දැරීමට සිදුනොවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව අමාත්‍යවරයා සඳහන් කළේය.
වාර්ෂිකව මාස හයකට වරක් ජල ගාස්තු සංශෝධනය කිරීම සාමාන්‍ය ක්‍රියාවලිය වුවද, මේ වසරේ මුල් මාස 6 තුළ ද රජය විසින් ගාස්තු සංශෝධනයක් සිදුකර නොතිබුණි.
ජූලි 01 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ජල ගාස්තු ඉහළ යන්නේද යන්න පිළිබඳව කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය:
“පසුගිය කාල සීමාවේදී ප්‍රධාන වශයෙන්ම බලපෑවේ 18%ක විදුලි ගාස්තු සංශෝධනය පමණයි. ඉන්ධන මිල ඉහළ යාම ජල පිරිපහදු කටයුතුවලට සෘජුව බලපාන්නේ නැහැ. ජල ගාස්තුවෙන් විදුලි පිරිවැය නියෝජනය කරන්නේ 12%ක ප්‍රමාණයක්. ඒ අනුව විදුලි බිල ඉහළ යාම නිසා ජල ඒකකයකට සිදුව ඇති බලපෑම රුපියල් 2.50ක් වැනි ඉතා සුළු මුදලක්. මෙම සුළු පිරිවැය ජනතාව මත පැටවීමට අවශ්‍ය නොවන බැවින්, ඉදිරි මාස 6 සඳහා ද ජල ගාස්තු වැඩි නොකිරීමට උපරිම ඉඩකඩ පවතිනවා.”

