ඇතැම් ප්‍රදේශ වලට මි.මි. 100 ඉක්මවමින් වැසි

0
106

NEWSNOW | – නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන්, ඉදිරි දින කිහිපය තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල වැසි සහිත කාලගුණය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්’තමේන්තුව පවසයි.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල සහ නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 40-50 ක පමණ තද සුළං අපේක්ෂා කරයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.