පරාජිත අපේක්ෂිකයිනුත් සිය මැතිවරණ වියදම් වාර්තා භාරදීම අනිවාර්යයි – කැෆේ සංවිධානය

0
28

NEWSNOW | –  2025 මැයි 27 (හෙට) දින ඇතුළත මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වූ සියළුම ජයග්‍රාහී සහ පරාජිත අපේක්ෂකයින් සිය මැතිවරණ වියදම් වාර්තා ලබා දිය යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

පරාජිත අපේක්ෂකයින් සිය මැතිවරණ වියදම් වාර්තා ලබාදීම අවශ්‍ය නොවන බවට, වැරදි මතයක් සමාජ ගත වී ඇත. නමුත්, 2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත සහ මේ සම්බන්ධයෙන් වන අංක 2428/72 සහ 2429/47 අති විශේෂ ගැසට් නිවේදන ප්‍රකාරව ජයග්‍රාහී සහ පරාජිත සියළුම අපේක්ෂකයින් කටයුතු කළ යුතුය.

විධිමත්ව සකස් කරන ලද ආදායම් හා වියදම් වාර්තා තබා ගැනීමත්, ඒවා මැයි 27 දිනට පෙර තේරීම් භාර නිලධාරීට භාරදීමත් අපේක්ෂක වගකීමක් බව කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පවසයි.

අපේක්ෂකයෙකුට zසzස කරන ලද වියදම් සීමාව ඉක්මවා වියදම් කිරීම, තහනම් මුලාශ්‍ර වලින් පරිත්‍යාග ලබා ගැනීම, නියමිත දිනට වියදම් වාර්තා භාර නොදීම, වියදම් වාර්තාවට අසත්‍ය කරුණු ඇතුළත් කිරීම පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරද වේ. අධිකරණය මගින් ඔවුන්ගේ මන්ත්‍රී ධුරය අහිමි කිරීමේ හැකියාව ද පවතී.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුකුල ලෙස කටයුතු නොකරන පුද්ගලයින්ට ඡන්ද පෙත්සම් ඉදිරිපත් වීමේ හැකියාවද ඇත. ඡන්ද පෙත්සම් ඉදිරිපත් කිරීම සඳහා දින 49 ක කාලයක් පවතී.