විශ්‍රාම වැටුපට එක් කළ මාසික අන්තර් කාලීන දීමනාව අද සිට ගිණුම් වලට

0
152

NEWSNOW| – රජය විසින් සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3,000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) දින සිට ඔවුන්ගේ ගිණුම්වලට මුදාහැරීමට කටයුතු කරන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙස පසුගිය දා උපදෙස් ලබා දී තිබේ.

එම උපදෙස් අනුව මහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබා දී ඇති අතර අද දිනයේ සිට විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට එම මුදල් බැර කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත.

සියලු විශ්‍රාමිකයන් හට රුපියල් 3,000ක මාසික අන්තර් කාලීන දීමනාවක් ලබා දීම සඳහා 2024//08/24 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන අංක 02/2024 නිකුත් කර තිබුණද, ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කර නොතිබිණි.

පසුගිය 14 වන දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයට අනුව විශ්‍රාමිකයන් 679,960ක්  වෙනුවෙන් මේ මාසය සඳහා රුපියල් මිලියන 2,021ක ප්‍රතිපාදන භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත.