NEWSNOW | – යහපත් ශ්‍රී ලංකාවක් හා සාමයෙන්, සහජීවනයෙන් සපිරුණු සමාජයක් වෙනුවෙන් කවදත් කැපවීමෙන් හා වගකීමෙන් ක්‍රියා කරන ආගමික නායකයන් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සියලුම අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින ඉල්ලීම් කිහිපයක් ඇතුළත් සංදේශය එළිදැක්වීම හා එම නියෝජිතයින් වෙත පිළිගැන්වීම අද(18) පෙරවරුවේ සිදු කෙරුණි.
ඒ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීය.
එම අවස්ථාවට දිවයිනේ නන්දෙසින් පැමිණ සිටි ආගමික නායකයෝ එක්ව සිටියහ.
එම යෝජනාවලිය ජාතික ජනබල වේගයේ නියෝජිතයා වෙතද, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්‍ෂ නියෝජිතයා වෙතද , ජනසෙත පෙරමුණේ නියෝජිතවරයා වෙතද පිළිගන්වනු ලැබීය.
මෙහිදී නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනාධිපති අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කළ සර්’වාගමික නායකයින්ගේ ඉල්ලීම් මෙසේය.
1. ආගම් පහක ඉගැන්වීම් වලින් පෝෂණය වූ අප රටේත් ජනතාවගේත් හිත සුව පිණිස පහත සඳහන් කරුණු පිළිපදින ලෙසට හා ඒ සඳහා කැපවන ලෙසට මෙන්ම, ඒ අනුව නව දේශපාලන සංස්කෘතියක් හා දැක්මක් දායාද කරන ලෙස ඉල්ලා සිටියි.
2. දූෂණයෙන්, භීෂණයෙන් තොරව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා කැපවීම
3. වෛරයෙන් ක්‍රෝධයෙන්, පළිගැනීමෙන්, හිංසාවෙන් තොර වු සියලු ජනතාව අතර සංහිදියාව ඇති කිරීම
4. රාජ්‍ය දේපළ අයථා ලෙස භාවිතා කිරීමෙන් වැළකීම
5. ඕනෑම අයෙකුට තමන් රුචිකත්වයක් දක්වන අපේක්ෂකයෙකුට හෝ අපේක්ෂිකාවකට මනාපය පළ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් බව පිළිගනීම.
6.මානසික හා භෞතික පරිසරය දූෂණය කිරීමෙන් තොර සාමකාමී හා සහජීවනයෙන් යුතු දේශපාලනයක නිරත වීම.
7. සියලු ආගමිකයින්ගේ හා ජාතීන්ගේ අනන්‍යතාවයන්ට හා අභිමානයන්ට ගරු කරමින් සියළු දෙනාගේම අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙනී සිටීම.
8. සියලු දෙනාගේම හිත සුව පිණිස වූ සමානාත්මතාවයෙන් යුත් යහපත් පාලනයක් ඇති කිරීම සඳහා කැපවීම.
9. පවතින මැතිවරණ නීති – රීති අකුරට පිළිපදිමින් සදාචාර සම්පන්ත දේශපාලන ක්‍රියාදාමයක නිරත වන බවට පොරොන්දු වීම.
10. මැතිවරණ සමය තුලදී මෙන්ම ඉන් පසුවද කිසිදු ගැටුම්කාරී තත්වයක් ඇති නොවීමට වග බලාගන්නා අතර ජනතාවට වගකියන මානව හිතවාදී පාලනයක් සඳහා උපරිම වශයෙන් කැප වන බවටත් මනුෂ්‍යත්වයේ හා ප්‍රජාතන්ත්‍ර වාදයේ නාමයෙන් සපථ වීම