හෙට සිට නිශ්චිත කාර්යයන් කිහිපයකට TIN අංකය අනිවාර්යයි

0
7

නිශ්චිත රාජකාරි සහ සේවා කිහිපයක් ලබාගැනීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම හෙට (01) සිට අනිවාර්ය කර තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බැංකු හෝ මූල්‍ය ආයතනවල ගිණුම් විවෘත කිරීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කරගැනීම, මෝටර් රථ ලියාපදිංචිය සහ වාහන බලපත්‍ර අලුත් කිරීමේදී මෙම අංකය ඉදිරිපත් කළ යුතු බවයි.

එමෙන්ම ඉඩම් හෝ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීම, ව්‍යාපාර ලියාපදිංචිය, ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගම්වල කොටස් පැවරීම සහ ණය කාඩ්පත් ලබාගැනීමේදී ද වලංගු TIN අංකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

අදාළ සේවාවන් ලබාදීමට පෙර ඉදිරිපත් කරන TIN අංකය වලංගුද යන්න වගකිව යුතු නිලධාරීන් විසින් තහවුරු කරගත යුතු බවද දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විද්‍යුත් සේවා (e-Services) පද්ධතිය ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව සලසා තිබේ.

දැනටමත් TIN අංකයක් හිමි පුද්ගලයන්ට එහි වලංගුභාවය ද එම පද්ධතිය හරහා පරීක්ෂා කරගත හැකිය.

එම තහවුරු කිරීම සාර්ථක වූ පසු TIN අංකය පරිගණක තිරය මත දර්ශනය වන අතර, පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ TIN අංකය පැහැදිලිව සඳහන් මුද්‍රිත පිටපතක් ද නිල TIN සහතිකය වෙනුවට අදාළ කාර්යයන් සඳහා පිළිගත හැකි බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී ඇත.

මේ අතර වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලු දෙනා TIN අංකයක් ලබාගත යුතු වුවද, එම සියලු දෙනාම බදු ගෙවිය යුතු බවට පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18 ඉක්මවන්නේ නම් පමණක් අදාළ බදු ගෙවීමේ වගකීම ඇති වන බවයි.

මේ වන විට මෙරට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පුරවැසියන් අතරින් මිලියන 13කට ආසන්න පිරිසක් TIN අංක ලබාගෙන ඇති බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here