කලාපයේ පවතින වත්මන් ආරක්ෂක තත්ත්වය හමුවේ සෞදි අරාබියේ සංචාරය කරන සහ උම්රා වන්දනාව සඳහා පිටත්ව යාමට බලාපොරොත්තු වන ශ්රී ලාංකිකයින් වෙත ජෙඩා හි පිහිටි ශ්රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ දක්වා ඇත්තේ, පවතින තත්ත්වය හේතුවෙන් සෞදි අරාබිය වෙත පැමිණෙන සහ එරටින් පිටවන ගුවන් ගමන්වල යම් යම් බාධා කිරීම් හෝ ප්රමාදයන් සිදු වීමේ හැකියාවක් පවතින බවයි.
ඒ අනුව, ඉදිරියේදී උම්රා වන්දනා චාරිකා සඳහා එක්වීමට සැලසුම් කරන පිරිස් පහත කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙස කොන්සල් ජනරාල් කාර්යාලය උපදෙස් දෙයි:
-
සංචාරක සැලසුම් පිළිබඳ අවධානයෙන් සිටීම: සිය සංචාරක කටයුතු සංවිධානය කිරීමේදී පවතින තත්ත්වය පිළිබඳව මනා අවබෝධයකින් පසුවීම.
-
නියෝජිතයින් සමග සමීප සම්බන්ධතාවය: තමන් සංචාරය කරන උම්රා කණ්ඩායම් භාර නියෝජිතයින් (Umrah Group Operators) හෝ අදාළ සංචාරක නියෝජිතයින් (Travel Agents) සමග නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වා ගැනීම.
-
විකල්ප සැලසුම් (Alternative Plans) සූදානම් කර ගැනීම: හදිසි හෝ අනපේක්ෂිත අවස්ථාවකට මුහුණ දීමට සිදු වුවහොත් ක්රියාත්මක වීමට සුදුසු විකල්ප සංචාරක සැලසුම් තමන් සතුව පවතින බවට තහවුරු කර ගැනීම.
කලාපීය තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි යම් අපහසුතාවයන්ගෙන් වළකින ලෙසත්, නිල උපදෙස් කෙරෙහි නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙසත් කොන්සල් ජනරාල් කාර්යාලය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.


