සමාජ මාධ්ය හරහා ඇතැම් පිරිස් නිරන්තරයෙන් අසත්ය කරුණු සහ තහවුරු නොකළ තොරතුරු පතුරුවමින් මහජනතාව නොමඟ යැවීම සහ බිය පතුරුවන අවස්ථා වාර්තා වන බව පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.
මාධ්ය වෙත අදහස් දක්වමින් ඊයේ (13) ඔහු මේ බව සඳහන් කළේය.
මෙවැනි පළකිරීම් සම්බන්ධයෙන් ශ්රී ලංකා පොලිසිය දැඩි අවධානයෙන් පසුවන බව අවධාරණය කළ පොලිස් මාධ්ය ප්රකාශකවරයා, අසත්ය තොරතුරු ප්රචාරය කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
එසේම, පරිගණක අපරාධ පනත සහ ලංකා දණ්ඩ නීති සංග්රහය යටතේ එවැනි වරදකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට අවශ්ය සියලු පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

