රණවිරු ගුණ අනුස්මරණ පොපි මල් සැමරුම් උත්සවය නොවැම්බර් 08 දින ජනාධිපති ප්‍රධානත්වයෙන්

0
10

වාර්ෂිකව පැවැත්වෙන රණවිරු ගුණ අනුස්මරණ පොපි මල් සැමරුම් උත්සවය එළඹෙන නොවැම්බර් මස 08 වැනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ සභාපති ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළ අතර, කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි යුද ස්මාරකය කේන්ද්‍ර කරගනිමින් වසර 82ක් පුරා මෙම රණවිරු ගුණ අනුස්මරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම සැමරුම් උත්සවයට සමගාමීව, ඔක්තෝබර් මස 17 වැනි සෙනසුරාදා කොළඹ ගාලු මුවදොර පිටියේ සිට විහාර මහා දේවි උද්‍යානයේ යුද ස්මාරකය දක්වා සංකේතාත්මක පොපි පාගමනක් පැවැත්වීමටද නියමිතය. එසේම, යුද විරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් රැස් කිරීමේ අරමුණින් වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සංවිධානය කර තිබේ.

ත්‍රිවිධ හමුදාවල විශ්‍රාමික සාමාජිකයන් විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන මඟින් දිවි පිදූ, ආබාධිත මෙන්ම වර්තමානයේ සේවයේ නිරත සියලුම රණවිරුවන් වෙත කෘතවේදීත්වය පළ කිරීම සහ ඔවුන්ගේ සේවය අගය කිරීම අපේක්ෂා කෙරේ. රණවිරුවන්ගේ කැපවීම සිහිපත් කරමින් ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් දායක වන ලෙසත්, මෙම ගුණ අනුස්මරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දෙන ලෙසත් ඔහු මෙහිදී මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here