මාධ්‍යවේදීන්ට ධවල මන්දිරයට ඇතුළුවීම තහනම් කිරීමට ට්‍රම්ප් ගත් උත්සාහයට ෆෙඩරල් අධිකරණයෙන් තහංචි

0
12

CNN, MS NOW සහ Politico ඇතුළු ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට ධවල මන්දිරයට ඇතුළුවීම තහනම් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් උත්සාහය නීතියට පටහැනි විය හැකි බවට තීරණය කරමින්, එම මාධ්‍යවේදීන්ට ධවල මන්දිර ප්‍රවේශය ලබාදෙන ලෙස නියම කරමින් ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් ලබාදුන් නියෝගය දීර්ඝ කර තිබේ. අමෙරිකානු දිස්ත්‍රික් විනිසුරු තිමති කෙලී විසින් මෙම තීරණය ලබා දී ඇති අතර, අදාළ මාධ්‍ය ආයතන විසින් ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තෙක් මෙම නියෝගය අඛණ්ඩව බලාත්මක වනු ඇත. කෙසේ වෙතත්, අභියාචනාධිකරණයක් මඟින් මෙම නියෝගය ඉදිරියේදී අත්හිටුවීමට ඉඩකඩ පවතී.

තමන්ට අකමැති පුවත් වාර්තා කිරීම හේතුවෙන් අසත්‍ය තොරතුරු පතුරුවන බවට චෝදනා කරමින් ට්‍රම්ප් විසින් පසුගිය සැප්තැම්බර් මාසයේදී සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා මෙම මාධ්‍ය ආයතනවලට එරෙහිව ප්‍රවේශ තහනම ප්‍රකාශයට පත් කර තිබිණි. එහෙත්, එය අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයෙන් තහවුරු කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ සහ මාධ්‍ය නිදහස මෙන්ම සාධාරණ ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීමේ අයිතිය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දෙමින් අදාළ මාධ්‍ය ආයතන අධිකරණය හමුවේ නඩු පැවරීය.

මීට පෙර සැප්තැම්බර් 24 වැනි දින හදිසි නියෝගයක් නිකුත් කරමින් විනිසුරුවරයා අදාළ මාධ්‍යවේදීන්ට ධවල මන්දිරයට ප්‍රවේශය යළි ලබාදීමට නියෝග කළ අතර, මෙම තහනම මාධ්‍යවේදීන්ට එරෙහිව පළිගැනීමේ අරමුණින් පනවා ඇති බවට පෙනී යන බවද සඳහන් කළේය. ට්‍රම්ප් විසින් 2017 වසරේදී පත් කරන ලද විනිසුරු තිමති කෙලී, මාධ්‍යවේදීන්ගේ ප්‍රවේශය තහනම් කිරීම සාධාරණීකරණය කිරීමට අධිකරණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ක සම්බන්ධයෙන්ද මෙහිදී දැඩි සැකය පළ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here