සෞදි අභියාචනාධිකරණය විසින් පනවා තිබූ මරණ දඬුවම ශ්රේෂ්ඨාධිකරණය මගින් පූර්ණ ලෙස අහෝසි කර ඇති නමුත් සෞදි සයිබර් අපරාධ පනත යටතේ ඔහුට එරෙහිව තිබූ මුළු වරදකරු කිරීමේ තීන්දුවම අහෝසි වී ඇත්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.
ඒ අනුව මුලින් පනවන ලද වසර 5ක සිරදඬුවම ඔහු විසින් විඳිය යුතුද යන්න පිළිබඳව ඉදිරියේදී සෞදි අධිකරණ බලධාරීන්ගෙන් වැඩිදුර කරුණු පැහැදිලි කරගැනීමට නියමිතය.
ශ්රී ලංකා රජය විසින් සිදු කරන ලද නොකඩවා රාජ්ය තාන්ත්රික හා නෛතික මැදිහත්වීම්වල ප්රතිඵලයක් ලෙස, ශ්රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම ඉවත් කිරීමට සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශය අගෝස්තු 14 වන දින මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අගෝස්තු 13 වන දින සෞදි ශ්රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන් බවයි.
ජනාධිපතිවරයාගේ සහ විදේශ කටයුතු අමාත්යවරයාගේ උපදෙස් මත, අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාස්, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරිස් යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ නීති නියෝජිත පිරිසක් රියාද් නුවර බලා පිටත්ව ගොස් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබිණි. ශ්රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා ද සෞදි බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සක්රීයව කටයුතු කළේය.

