ලබන වසරේ සිට ඊශ්‍රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජයන් අතර ගිවිසුම් හරහා පමණයි

0
9

ඉදිරි වසරේ (2027) සිට ශ්‍රී ලාංකිකයන් ඊශ්‍රායලයේ රැකියා සඳහා බඳවා ගැනීම සම්පූර්ණයෙන්ම රජයන් අතර ඇති කරගනු ලබන ගිවිසුම් (G2G) යටතේ පමණක් සිදු කිරීමට ඊශ්‍රායල රජය තීරණය කර තිබේ. මෙම නව ප්‍රතිපත්තිමය තීරණය පිළිබඳව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

ඒ අනුව, බලපත්‍රලාභී පෞද්ගලික විදේශ රැකියා නියෝජිතායතන හරහා මෙතෙක් ක්‍රියාත්මක වූ ඊශ්‍රායල රැකියා බඳවා ගැනීමේ වැඩසටහන එළැඹෙන 2026 දෙසැම්බර් 31 වැනි දායින් අවසන් වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. ඉදිකිරීම්, කාර්මික, වාණිජ සහ සේවා ක්ෂේත්‍ර ඇතුළු සියලුම අංශ සඳහා මෙම නව නීතිය බලපැවැත්වේ. කෙසේ වෙතත්, 2027 වසරේ සිට ක්‍රියාත්මක වන නව ක්‍රමවේදය, බඳවා ගන්නා ශ්‍රමිකයන්ගේ කෝටාව සහ තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳ වැඩිදුර නිල තොරතුරු මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.

මෙම තත්ත්වය හමුවේ, ඊශ්‍රායල රැකියා ලබාදෙන බව පවසමින් කිසිදු පුද්ගලයෙකුට හෝ නියෝජිතායතනයකට මුදල් හෝ ගාස්තු ගෙවීමෙන් වළකින ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂකයන්ට දැඩි ලෙස අවධාරණය කරයි. එසේම, නිල වශයෙන් දැනුම් දෙන තෙක් පෞද්ගලික අංශය මඟින් පවත්වනු ලබන කුසලතා පරීක්ෂණ, සම්මුඛ පරීක්ෂණ හෝ වෙනත් තෝරා ගැනීමේ ක්‍රියාවලීන් සඳහා සහභාගී නොවන ලෙසද උපදෙස් දී ඇත.

කෙසේ වෙතත්, මේ වන විටත් නීත්‍යානුකූලව ඊශ්‍රායල රැකියා සඳහා මුදල් ගෙවා ඇති පුද්ගලයන් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවත්, ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ඉදිරියේදී නිවේදනය කරන බවත් කාර්යාංශය වැඩිදුරටත් පවසයි. රැකියා අපේක්ෂකයන්ගේ සුබසාධනය සුරක්ෂිත කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු අඛණ්ඩව සිදු කරමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here