ජාතික උරුමයක් වන නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම යනු හුදෙක් පැරණි ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීමක් පමණක් නොව, එය මෙරට සංචාරක කර්මාන්තයට නව වටිනාකමක් එක් කරන ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.
නුවරඑළිය තැපැල් කාර්යාල පරිශ්‍රයේ රුපියල් මිලියන 78.34ක ඇස්තමේන්තුගත වියදමින් ඉදිවන නව දෙමහල් තැපැල් පරිපාලන ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම නව ගොඩනැගිල්ල ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය සහ තැපැල් මෙහෙයුම් අංශය සඳහා වෙන් කර ඇති අතර, ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ උපදේශකත්වයෙන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ මෙහි ඉදිකිරීම් සිදු කෙරේ.
බ්‍රිතාන්‍ය පාලන සමයේ රතු ගඩොලින් ඉංග්‍රීසි ටියුඩර් ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණවලින් යුතුව ඉදිවූ මෙම ඓතිහාසික තැපැල් කාර්යාලය මෙරට ගෘහ නිර්මාණ උරුමයේ සුවිශේෂී සලකුණකි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙහි සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක වන අතර, වැඩ අවසන් වූ පසු මෙය දේශීය හා විදේශීය සංචාරකයන්ට අවශ්‍ය තොරතුරු ලබාදෙන සංචාරක ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ලෙසද සංවර්ධනය කෙරේ.
ස්වභාවික සුන්දරත්වයට අමතරව ඓතිහාසික හා සංස්කෘතික උරුමයන් ද සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ඵලදායී ලෙස යොදාගත යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ගාලු කොටුව මෙන්ම නුවරඑළිය තැපැල් කාර්යාලය ද ජාතික උරුමය සහ සංචාරක කර්මාන්තය යා කරන කදිම සම්පත් බව වැඩිදුරටත් පැවසීය. මෙම උත්සවයෙන් අනතුරුව අමාත්‍යවරයා නුවරඑළිය යුනික් වීව් ප්‍රදේශයේ ඉදිකෙරෙන සංචාරක නිවාඩු නිකේතනයේ සහ නිල නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ද නිරීක්ෂණය කළේය.
තැපැල් සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් 2026 වසර තුළ නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 400ක් සහ අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් මිලියන 600ක් වෙන් කර ඇති බව මෙහිදී අනාවරණය විය. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, නුවරඑළිය නගරාධිපති උපුලි වනිගසේකර, දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් සහ තැපැල්පති රුවන් සත්කුමාර ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.


