යුධ ආයුධ ඉක්මනින් එයි. පොහොර සහ ඉන්ධන පමා වෙයි. නේපාල අගමැති එක්සත් ජාතීන්ගේ සභාවේදී චෝදනාවක්

0
13

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන පොහොර සහ ඉන්ධන ලබාගැනීම දුෂ්කර වී ඇති මොහොතක, මිසයිල සහ ගිනිඅවි වැනි යුධ උපකරණ ඉතා වේගයෙන් සිමාව පහුකරමින් ලැබෙන ජාත්‍යන්තර පද්ධතිය නේපාල අගමැති බාලේන්ද්‍ර ෂා (Balendra Shah) මහතාගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

සැප්තැම්බර් 24 වනදා නිව්යෝර්ක් නුවර පැවැති 81 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් නේපාල අගමැතිවරයා කියා සිටියේ, නේපාලයේ ගොවියෙකුට නිසි වේලාවට පොහොර හෝ ඉන්ධන ලබා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවුවද, මිසයිල, රයිෆල් සහ පතොරම් ඉතා නිවැරදි කාල රාමුවක් තුළ සිමාව පහුකරමින් ගලා එන බවයි.

“අපි හදලා තියෙන්නේ යුද්ධය සඳහා ඉතා පහසුවෙන් බඩු බාහිරාදිය ප්‍රවාහනය කළ හැකි, නමුත් ආහාර සැපයුම සම්පූර්ණයෙන්ම අඩපණ වූ ලෝකයක්,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අර්බුදය නේපාලයට පමණක් සීමා නොවූවක් බව පෙන්වා දුන් අගමැතිවරයා, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින සහ පාකිස්ථානය යන කලාපීය රටවල් ද මෙවැනිම පීඩනයන්ගෙන් පීඩා විඳින බව විශේෂයෙන් මතක් කර සිටියේය.

“ලංකාවෙන් අහලා බලන්න,” යනුවෙන් ප්‍රකාශ කළ ඔහු, කලාපයේ රටවල් සියල්ලම “අප විසින් රත් නොකළ කාලගුණයෙන් සහ අප ආරම්භ නොකළ යුද්ධවලින් දෙවතාවක්ම පීඩාවට පත්ව ඇති” බව අවධාරණය කළේය.

මෙම තත්ත්වය කාලගුණ විපර්යාස, ගෝලීය සැපයුම් දාමයන්හි අර්බුද සහ අසමානතාවය යන කරුණු සමඟ සෘජුවම සම්බන්ධ වන බව පෙන්වා දුන් බාලේන්ද්‍ර ෂා මහතා, තමන් නිර්මාණය නොකළ අර්බුද හමුවේ අඩු සම්පත් සහිත රටවල් අනවශ්‍ය ලෙස වගවීම් සහ බලපෑම් විඳිය යුතු නැති බව කියා සිටියේය.

එමෙන්ම, කාලගුණ විපර්යාසවලට මුහුණදීම සහ ඒ සඳහා වන මූල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීම සම්බන්ධයෙන් දැඩි ජාත්‍යන්තර සහයෝගීතාවයක අවශ්‍යතාවය පෙන්වා දුන් නේපාල අගමැතිවරයා, විපතට පත්වන අවස්ථාවලදී ආපදාවලට ලක්විය හැකි රටවලට කඩිනමින් සහන සැලසීමේ ක්‍රමවේදයක් සකස් විය යුතු බව ද අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here