මුම්බායි ඉන්දියන්ස් ලකුණු 102 ක දැවැන්ත ජයක් අත්කර ගනී – [VIDEO]

0
316

NEWS NOW | COLOMBO – ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 41 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර කොල්කටාහිදී ඊයේ (9 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 102 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 211 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ඕවර 18.1 ක් අවසානයේ ලකුණු 108 කට සීමා කිරීමට මුම්බායි ඉන්දියන්ස් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදි දක්ෂ පන්දු යැවීමක නිරත වූ කෘනාල් පාණ්ඩ්‍යා සහ හර්දීක් පාණ්ඩ්‍යා කඩුලු 2 බැගින් දවාගනිමින් කොල්කටා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

පිතිකරුවන් 5 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් පිටියෙන් ඉවත්ව යද්දී කොල්කටා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නිටිෂ් රානා පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 21 ක් රැස්කළේය. ක්‍රිස් ලයන් පන්දු 15 කදී ලකුණු 21 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායමේ නායක දිනේෂ් කාර්තික්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 210 ක් රැස්කළේය.

එහිදී වේගවත් පිතිරඹයක නිරත වූ ඉෂාන් කිෂන් පන්දු 21 කින් ලකුණු 62 ක් රැස්කළ අතර ඊට හයේ පහර 6 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය. නායක රෝහිත් ශර්මා හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 36 ක්ද, සූර්යකුමාර් යාදව් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 36 ක්ද රැස්කරමින් මුම්බායි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 9 කට මුහුණදුන් බෙන් කටින් එහිදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 24 ක් රැස්කරමින් මුම්බායි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.