මධ්‍යම පරිසර අධිකාරිය “හරිත නායක වැඩසටහන” ආරම්භ කරයි.

0
38
NEWSNOW | – අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ සහයෝගය ඇතිව මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාත්මක කරන සුවිශේෂී වැඩසටහනක් වන “හරිත නායක” (Green Leader) වැඩසටහනේ සමාරම්භක උළෙල පසුගියදා  (26) මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ ශ්‍රවණාගාරයේ දී පැවැත් විය.
පරිසර සාක්ෂරතාව වැඩි දියුණු කිරීම මෙන්ම පාසල් පරිසර නියමු වැඩසටහන් සහ අනෙකුත් පාරිසරික වැඩසටහන් පාසල් පරිශ්‍රයේ සක්‍රීයව ක්‍රියාත්මක කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. මෙරට විද්‍යාපීඨ 19 තුළ විද්‍යාපීඨ ශික්ෂණලාභීන් (ගුරු සිසු සිසුවියන්) වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන  හරිත නායක වැඩසටහන විද්‍යාපීඨ විෂය නිර්දේශයට සමගාමීව පැවැත්වීමට කටයුතු යොදා ඇත. විද්‍යාපීඨ ශික්ෂණලාභීන්ගේ වසර තුනක අධ්‍යයන කාලය තුළ ව්‍යුහගත ක්‍රමවේදයක් සහිතව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ දී වසර තුන අවසන් වූ පසු ඇගයීම් සිදුකර “හරිත නායක පදක්කම” පිරිනමනු ලැබේ.  පසුගියදා  පැවති මෙම සමාරම්භක උළෙලේ දී මෙම වැඩසටහනට අදාළ “හරිත නායක ගුරු උපදෙස් සංග්‍රහය” ද එළිදැක්වීය.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට පරිසර අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්’ති මහතා ඇතුළු නිලධාරීහු, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු නිලධාරීහු, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා ඇතුළු නිලධාරීහු, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්’ය ප්‍රසාද් සේතුංග මහතා ඇතුළු නිලධාරීහු, විද්‍යාපීඨ කොමසාරිස් කලනි හේමාලි මහත්මිය ඇතුළු නිලධාරීහු සහ විද්‍යාපීඨ ශික්ෂණලාභීහු සහභාගී වූහ.