බොස්නියාවේදී ඉතාලි හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් සිව්දෙනෙක් මිය යති

0
12

යුරෝපා සංගමයේ සාම සාධක මෙහෙයුමකට එක්ව සිටි ඉතාලි හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් බොස්නියා සහ හර්සගොවිනා රාජ්‍යයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඉතාලියේ ‘ANSA’ පුවත් සේවය වාර්තා කරන ආකාරයට, මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (29) බොස්නියාවේ බ්‍රච්කෝ දිස්ත්‍රික්කයේ ගොරිසේ (Gorice) ගම්මානය ආසන්නයේදීය. යුරෝපා සංගමයේ ‘Operation Althea’ සාම සාධක මෙහෙයුමට සහභාගී වී සිටියදී මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ යානයේ පුද්ගලයින් 15 දෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් සිව්දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇත. මියගිය පිරිස අතර ඉතාලි හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සහ ඉතාලි රතු කුරුස සංවිධානයේ ස්වේච්ඡා හමුදා බලකායට අයත් සාමාජිකයින් දෙදෙනෙකු වන බව එරට ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

තුවාල ලැබූ 11 දෙනා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව සඳහන් වේ. අනතුරින් යානය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති අතර, හෙලිකොප්ටර් යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. කෙසේ වෙතත්, ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඉතාලි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මේ අතර, මෙම හදිසි ඛේදවාචකය සම්බන්ධයෙන් ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි සහ ආරක්ෂක අමාත්‍ය ගුයිඩෝ ක්‍රොසෙටෝ යන මහත්ම මහත්මීන් සිය බලවත් ශෝකය පළ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here