‘දිට්වා’ ආපදාවෙන් නිවාස අහිමි වූ බදුල්ලේ පවුල් 124කට නව නිවාස ඉදිකිරීමට මුල්ගල් තබයි

0
13

‘දිට්වා’ ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් නිවාස හානියට පත්ව අවතැන් වූ පවුල් සඳහා නව නිවාස ඉදිකර දීමේ රජයේ විශේෂ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක නව නිවාස 124ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම ඊයේ (08) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම ව්‍යාපෘතිය යටතේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 62ක්, බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 27ක් සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 35ක් ඉදිකිරීමට නියමිතය. ඒ අනුව හාලිඇල, කොත්මල්ලන්ද ප්‍රදේශයේදී, බදුල්ල තෙල්බැද්ද ප්‍රදේශයේදී සහ පස්සර පාලාගොල්ල ග්‍රාම නිලධාරී වසමේ බ්ලානිවත්ත ප්‍රදේශයේදී අදාළ නිවාස සඳහා මුල්ගල් තැබීම සිදු විය.

මෙම නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම් රජය විසින් ලබාදෙන අතර, ආපදා තත්ත්වය නිසා අවතැන් වූ පවුල් සඳහා සුරක්ෂිත හා ස්ථිර නිවාස හිමිකමක් කඩිනමින් ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

මෙම සමාරම්භක අවස්ථාවන් සඳහා හාලිඇල, බදුල්ල සහ පස්සර ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා ඇතුළු අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here