සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ. මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ පූජ්‍ය තීනියාවල පාලිත හිමියන්ය.
එහි වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, අමාත්‍යාංශ ලේකම්වරිය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන ව්‍යවස්ථාවට අනුව බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම රජය වෙත පැවරී ඇති බව පෙත්සම්කාර හිමියන් පෙන්වා දෙයි. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට සිර දඬුවම් නියම වීමෙන් පසු ඥානසාර හිමියන් කොළඹ මහාධිකරණයට සහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ චීවරය ඉවත් කර සිවිල් ඇඳුමින් සැරසීමට කටයුතු කර ඇති බවත්, එම තීරණය බන්ධනාගාර රෙගුලාසිවලට මෙන්ම බෞද්ධ විනය නීතිවලට ද පටහැනි බවත් පෙත්සමෙන් සඳහන් කර ඇත.
ඒ අනුව, ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට ගෙන ඇති තීරණය සහ එවැනි ක්‍රියාවකට බල කෙරෙන බන්ධනාගාර රෙගුලාසියක් හෝ චක්‍රලේඛයක් වේ නම් එය බල රහිත කරන ලෙසත්, ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර හිමියන් අධිකරණයෙන් ඉල්ලා සිටී.

