කිසිදු නිලධාරියෙකු විශේෂයෙන් ආරක්ෂා කිරීමට පොලීසිය කටයුතු කරන්නේ නැත – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

0
13

යම් නිලධාරියෙකු වැරදි නම්, අනීතික නම් හෝ නීතිවිරෝධී කටයුත්තකට සම්බන්ධ වන්නේ නම්, ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූල මෙන්ම විනයානුකූලව දැඩිව කටයුතු කරන බවත්, කිසිදු නිලධාරියෙකු විශේෂයෙන් ආරක්ෂා කිරීමට පොලීසිය කිසිවිටෙකත් කටයුතු නොකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා අවධාරණය කර තිබේ.

“රටම එකට” ජාතික මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (29) පැවති මාධ්‍ය හමුවේදී පසුගිය දිනවල පොලිස් අත්අඩංගුවේදී සිදුවූ මරණ සහ තුවාල ලැබීමේ සිදුවීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

හෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පැවසූ මාධ්‍ය ප්‍රකාශකවරයා, පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත් දකුණු කොට්ඨාශයේ විශේෂ කණ්ඩායමකට මෙම විමර්ශනය පවරා ඇති බව ප්‍රකාශ කළේය. මෙම සිද්ධියට සමඟාමීව හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක, අපරාධ අංශයේ ස්ථානාධිපති, මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරියා සහ කොස්තාපල්වරයෙකු ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර, විමර්ශන ප්‍රතිඵල මත එක් උප පොලිස් පරීක්ෂකවරයෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

කොබේගනේ පොලිස් භාරයේ සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා, ගස් බැඳ සිටි බවට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගත් එම සැකකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පැවසීය. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී සිවිල් වැසියන් විසින් සැකකරුට පහරදී ඇති බවට ලැබුණු තොරතුරු මත සිවිල් වැසියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ පිළිබඳවද විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක වේ. මීට අමතරව, ත්‍රිකුණාමල පොලිස් භාරයේ සිටි සැකකරුවන් තිදෙනෙකුට සිදුව ඇති කැපුම් තුවාල සම්බන්ධයෙන්ද කොට්ඨාශ භාර නිලධාරියාගෙන් වාර්තාවක් කැඳවා ඇති බව වුට්ලර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here