එක්සත් ජාතීන්ගේ 81 වැනි සංවත්සරය නිමිත්තෙන් මෙරට පැවති ජාතික සැමරුම් උත්සවය.

0
15

එක්සත් ජාතීන්ගේ 81 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ජාතික සැමරුම් උත්සවය, ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

ජාතික ධජය සහ එක්සත් ජාතීන්ගේ ධජය එසවීමෙන් උත්සවය ආරම්භ විය.

හිටපු තානාපති එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ද, මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ද සහභාගී වූහ. ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක වන, ‘හොඳම කථිකයා’ සම්මානය දිනාගත් ලිසාදි අයන්සා ජයසිංහ ශිෂ්‍යාව ප්‍රධාන දේශනය පැවැත්වූවාය.

ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංගමයේ සභාපති මොහොමඩ් සවාහිර් මහතා පිළිගැනීමේ කතාව පැවැත්වීය.

එක්සත් ජාතීන්ගේ සංගම් පිළිබඳ ලෝක සම්මේලනයේ එකම ජාතික අනුබද්ධ ආයතනය වන්නේ ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංගමයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යභාරයට සහ අරමුණුවලට සහාය දැක්වීම සඳහා මෙම ලෝක සම්මේලනය 1946 වසරේදී පිහිටුවන ලදී.

ශ්‍රී ලංකාව පුරා බිම් මට්ටමේ ජනතාව වෙත එක්සත් ජාතීන්ගේ පණිවිඩය සහ මූලධර්ම ගෙන යාම සංගමයේ ප්‍රධාන කාර්යභාරයකි. ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ තොරතුරු මධ්‍යස්ථානය සමඟ එක්ව කටයුතු කරනු ලබයි.

1981 වසරේදී ආරම්භ කර අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලැබූ ‘UNASL අධ්‍යයන කව වැඩසටහන’ යටතේ මේ වන විට දිවයින පුරා පාසල් 334ක් ලියාපදිංචි වී ඇත.

උත්සවය වර්ණවත් කරමින් ශ්‍රී ලංකා පොලිස් නර්තන කණ්ඩායම විසින් නර්තන අංග රැසක් ඉදිරිපත් කරන ලදී.

මෙහිදී විශිෂ්ට දක්ෂතා දැක්වූවන් සඳහා සම්මාන පිරිනැමීම ද සිදු විය. ගාල්ල මහින්ද විද්‍යාලයේ ජී.එච්. නුවන් චතුරංග මහතා ‘හොඳම ගුරු භාරකරු’ සම්මානයෙන් පිදුම් ලැබූ අතර, 2026 වසරේ ‘හොඳම අධ්‍යයන කවය සහිත පාසල’ ලෙස මහින්ද විද්‍යාලය නම් කෙරිණි.

එම විද්‍යාලයේ දෙහාන් හසරෙල් හේවගේ සාමාන්‍ය දැනුම තරගයේ ජයග්‍රාහකයා බවට පත්විය. කථික තරගයේ ඉංග්‍රීසි අංශයේ හොඳම කථිකයා ලෙස ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ලිසාදි අයන්සා ජයසිංහ ශිෂ්‍යාව සම්මාන දිනාගත් අතර, සිංහල අංශයේ ජයග්‍රාහිකාව වූයේ මහනුවර විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ මිනුලි නුලාරි කුලතුංග ශිෂ්‍යාවයි.

රචනා තරගයේ ජයග්‍රාහකයා වූයේ ගාල්ල මහින්ද විද්‍යාලයේ දුලෙන් හස්මිර ජයවර්ධන ශිෂ්‍යයාය. සම්මානලාභීන් වෙත ප්‍රධාන ආරාධිත එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතා විසින් සම්මාන ප්‍රදානය කරන ලදී. ස්තුති කතාව ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංගමයේ මහලේකම් එම්.එම්.එම්. රුෂානුදීන් මහතා විසින් සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා, විධායක සභාපති ධර්මදාස විතාරණගේ මහතා, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, එක්සත් ජාතීන්ගේ අධ්‍යයන කව නියෝජනය කරමින් පැමිණි සිසුන්, එක්සත් ජාතීන්ගේ සංගමයේ සාමාජිකයන් සහ ආරාධිත අමුත්තන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here