කප්පාදු කළ දීමනා යළි ඉල්ලා සරසවි අනධ්‍යයන සේවකයින් හෙට (25) යළිත් සංකේත වර්ජනයක

0
6

2025 අයවැයෙන් කප්පාදු කළ වැටුප්, අතිකාල දීමනා සහ අනෙකුත් දීමනා මෙවර අයවැයෙන් යළි ලබාදෙන ලෙස ඉල්ලමින් හෙට (25) දිනයේදී යළිත් වරක් සංකේත වැඩවර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි. පසුගිය නොවැම්බර් 18 වැනිදා ද වැඩවර්ජනයක නිරත වූ සරසවි අනධ්‍යයන සේවකයින් පෙන්වා දෙන්නේ තම ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් කිසිදු සාකච්ඡාවක් හෝ ලබා දී නොමැති බවයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව අදහස් දැක්වූ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දබරේරා මහතා ප්‍රකාශ කළේ තමන් කිසිසේත්ම අලුතින් වැටුප් වැඩිවීමක් ඉල්ලා නොසිටින බවයි. තමන් ඉල්ලා සිටින්නේ 2025 අයවැය මගින් කප්පාදු කළ තමන්ට හිමිව තිබූ වැටුප්, දීමනා සහ අතිකාල දීමනා නැවත ලබා දෙන ලෙස පමණක් බවත්, වර්ජනයේ නිරත වූ කිසිදු වෘත්තීය කණ්ඩායමකට රජය මෙතෙක් සාකච්ඡා ලබා දී නොමැති බවත් ඒ මහතා අවධාරණය කළේය.

මේ අතර, 2027 අයවැය යෝජනාවලින් තමන්ට කිසිදු සහනයක් නොලැබුණු බව පවසමින් ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති ඊයේ ‘ජාතික විරෝධතා දිනයක්’ ක්‍රියාත්මක කළ අතර, ඉදිරි සතියේදී සිය වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කරන බවට ඔවුහු අනතුරු අඟවා තිබේ. ඒ අනුව, ගුරු ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක් ද එළැඹෙන නොවැම්බර් 30 වැනිදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here