සම පැහැපත් කිරීම සඳහා භාවිත කළ ආලේපනයක් හේතුවෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 17 හැවිරිදි දැරියකට බරපතළ වකුගඩු රෝගයක් වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ සම්බන්ධයෙන් අදාළ ආලේපනය නිෂ්පාදනය කළ සමාගමට එරෙහිව කේරළ පොලිසිය මෙන්ම ප්‍රාන්ත ළමා අයිතිවාසිකම් සුරැකීමේ කොමිසම ද නඩු ගොනු කර තිබේ.
සමාජ මාධ්‍ය වෙළෙඳ දැන්වීමක් ඔස්සේ මුහුණේ කුරුලෑ සහ අඳුරු පැල්ලම් ඉවත් කර ගැනීමට මෙම දැරිය එම ආලේපනය මිලදී ගෙන ඇති අතර, වසරක පමණ කාලයක් තුළ එහි බෝතල් තුනක් භාවිත කර ඇත. එය භාවිත කර මාස කිහිපයකට පසු ඇයට අධික තෙහෙට්ටුව, හිසරදය, කරකැවිල්ල, නින්ද නොයාම සහ මුහුණ හා පාද ඉදිමීම වැනි රෝග ලක්ෂණ මතු වී තිබේ.
කේරළයේ මලප්පුරම් දිස්ත්‍රික්කයේ රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු සිදු කළ රුධිර පරීක්ෂණවලින් ඇගේ සිරුරේ රසදිය මට්ටම අනතුරුදායක ලෙස ඉහළ ගොස් ඇති බව තහවුරු විය. අදාළ ආලේපනය රසායනාගාර පරීක්ෂණයකට යොමු කළ අවස්ථාවේදී එහි රසදිය සාන්ද්‍රණය මිලියනයකට කොටස් 12,500ක් (12,500 ppm) ලෙස පැවති බව අනාවරණය වූ අතර, එය ඉන්දියාවේ එවැනි නිෂ්පාදන සඳහා අවසර දී ඇති මිලියනයකට එක් කොටසකටත් වඩා අඩු සීමාව ඉක්මවා යන අගයකි.
වකුගඩුවල රුධිරය පෙරීමේ ක්‍රියාවලියට බාධා ඇති කරන ‘Membranous Nephropathy’ නමැති බරපතළ වකුගඩු රෝගයට දැරිය ගොදුරු වී ඇති බව වෛද්‍යවරු පවසති. සම හරහා උරා ගන්නා රසදිය මගින් වකුගඩු අකර්මණ්‍ය වීම සහ ස්නායු පද්ධතියට බරපතළ හානි සිදුවිය හැකි බව ඔවුහු පෙන්වා දෙති. මාසයක පමණ රෝහල් ප්රතිකාරවලින් පසු ඇය දැන් නිවසේ සිට සුවය ලබමින් සිටින නමුත්, පවතින සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අපහසු වී ඇත. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රමිතියකින් තොරව විකුණන රූපලාවණ්‍ය ද්‍රව්‍යවල රසදිය හා ඊයම් වැනි විෂ ලෝහ අඩංගු විය හැකි බවට විශේෂඥයෝ අනතුරු අඟවති.

