ශ්‍රී ලංකාවේ ක්ෂය රෝග මර්දන කටයුතු සඳහා රුපියල් මිලියන 52කට ආසන්න වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් ඉන්දීය රජය විසින් පරිත්‍යාග කර තිබේ. කිලෝග්‍රෑම් 2,600කට අධික බරකින් යුත් මෙම ඖෂධ තොගය ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් එරට ගුවන් හමුදාවට අයත් C-130J විශේෂ ගුවන් යානයකින් දිවයිනට රැගෙන එන ලදී.
මෑතකදී ඖෂධ සැපයුම් ක්‍රියාවලියේ මතුවූ හිඟයට පිළියමක් ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට අනුව ඉතා කෙටි කාලයක් තුළ මෙම ආධාරය ලබාදීමට ඉන්දීය රජය කටයුතු කර ඇත. අදාළ ඖෂධ තොගය නිල වශයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාරදෙන ලදී.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ක්ෂය රෝගය තවමත් මෙරටින් මුළුමනින්ම තුරන් වී නොමැති බවත්, මේ වන විට රෝගීන් 6,300ක් පමණ හඳුනාගෙන ඇති අතර සැබෑ රෝගීන් සංඛ්‍යාව 9,000ක් පමණ විය හැකි බවට ඇස්තමේන්තු කර ඇති බවත්ය. එසේම, හඳුනාගන්නා රෝගීන් සඳහා රෝහල් පද්ධතිය හරහා අඛණ්ඩව ඖෂධ සැපයීමට පියවර ගන්නා බව පැවසූ අමාත්‍යවරයා, ස්වාභාවික විපත් හා හදිසි අර්බුදවලදී මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී ඉන්දියාව අඛණ්ඩව ලබාදෙන සහයෝගය වෙනුවෙන් ඉන්දීය රජයට සහ ජනතාවට සිය කෘතඥතාව පළ කළේය.

