2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා විසින් එළඹෙන නොවැම්බර් 12 වැනි දින අයවැය කථාව ඉදිරිපත් කරමින් විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදු කිරීමට නියමිතය.
ඒ අනුව, නොවැම්බර් 13 සිට 20 දක්වා දින හතක කාලයක් දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර එහි ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වේ. අනතුරුව නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනි දින දක්වා දින 19ක් පුරා අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ක්‍රියාත්මක වන අතර, තෙවැනිවර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනි දින පස්වරු 6.00ට පවත්වා 2027 අයවැය පාර්ලිමේන්තු ක්‍රියාවලිය අවසන් කිරීමට නියමිතය.
මෙම විවාද කාලසීමාව තුළ ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර සෙනසුරාදා දිනවලද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, විවාද සඳහා කාලය වෙන් කර ඇත්තේ දෙවැනිවර කියවීමේදී ආණ්ඩු පක්ෂයට සියයට 60ක් සහ විපක්ෂයට සියයට 40ක් ලෙසත්, කාරක සභා අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයට සියයට 40ක් සහ විපක්ෂයට සියයට 60ක් ලෙසත්ය.

