සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි ශ්රී ලාංකික ඉංජිනේරු අනෝජන් සිවරාසා වෙත පනවා තිබූ මරණ දඬුවම අහෝසි කිරීමට එරට ශ්රේෂ්ඨාධිකරණය ගත් තීරණය ඉතා අගය කොට සලකන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. සෞදි ශ්රේෂ්ඨාධිකරණයේ මෙම ඓතිහාසික තීරණය අගය කරමින් ජනාධිපතිවරයා සිය නිල ‘X’ ගිණුමේ විශේෂ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.
මෙම තීරණය අනෝජන්ට, ඔහුගේ පවුලේ ඥාතීන්ට මෙන්ම මේ පිළිබඳ නිරන්තර උනන්දුවෙන් පසුවූ සමස්ත ශ්රී ලාංකිකයන්ටම විශාල අස්වැසිල්ලක් සහ සහනයක් බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. මිත්රශීලී රාජ්යයක නීතිමය ක්රියාවලියට ගරුකරමින් සිදුකළ ඉවසිලිවන්ත රාජ්ය තාන්ත්රික මැදිහත්වීම් සහ විදේශගත ශ්රී ලාංකිකයෙකු වෙනුවෙන් නොකඩවා පෙනී සිටි සියලු පාර්ශ්වයන්ගේ නොපසුබස්නා උත්සාහය නිසා මෙම යහපත් ප්රතිඵලය ලබාගැනීමට හැකිවූ බව ඔහු සඳහන් කර ඇත.
මෙහිදී සහයෝගය දැක්වූ සෞදි අරාබි රජයට විශේෂ ස්තූතිය පුද කර ඇති ජනාධිපතිවරයා, මෙම නීතිමය ක්රියාවලිය සඳහා කැපවීමෙන් කටයුතු කළ දෙරටේම රාජ්ය තාන්ත්රිකයන්, රාජ්ය නිලධාරීන් මෙන්ම නීති කණ්ඩායම් වෙතද ශ්රී ලංකා රජයේ ප්රණාමය පුද කර තිබේ. අනෝජන්ට එරෙහිව පවතින ඉදිරි නීතිමය ක්රියාපටිපාටීන් සම්පූර්ණ වන තෙක් ඔහුට සහ ඔහුගේ පවුලේ අයට අවශ්ය සියලු සහයෝගය අඛණ්ඩව ලබාදීමට රජය සූදානමින් සිටින බවද ඔහු අවධාරණය කර ඇත. වඩා හොඳ ජීවනෝපායක් සොයා විදේශගත වන කිසිදු ශ්රී ලාංකිකයෙකුට තමන් තනිවී ඇතැයි යන හැඟීමක් කිසිවිටෙක ඇති නොවිය යුතු බවද අදාළ සටහනේ වැඩිදුරටත් දැක්වේ.

