රටට අත්යවශ්ය විදේශ විනිමය ගෙන එමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් ලබාදෙන විදෙස්ගත ශ්රමිකයන් වෙනුවෙන් රජයෙන් සැපයිය යුතු සියලු සහන සහ අනුග්රහයන් කිසිදු පැකිළීමකින් තොරව ලබාදීමට කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙම හමුවේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දැනට ක්රියාත්මක කරනු ලබන සුබසාධන වැඩසටහන්වල ප්රගතිය සහ ඉදිරි ක්රියාමාර්ග පුළුල් ලෙස සමාලෝචනයට ලක් කෙරිණි. විශේෂයෙන්ම, විදෙස්ගත ශ්රමිකයන් සඳහා ක්රියාත්මක වන නිවාස යෝජනා ක්රම, ණය පහසුකම් ලබාදීමේදී මතුව ඇති ගැටලු සහ තීරුබදු රහිත (Duty Free) පහසුකම් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු විය.
එමෙන්ම, විදෙස්ගත ශ්රී ලාංකිකයන් පිළිබඳ නිවැරදි මෙන්ම යාවත්කාලීන දත්ත පද්ධතියක ඇති වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා සඳහන් කළේ, එවැනි ක්රමවේදයක් හරහා ඔවුන්ගේ සුබසාධන කටයුතු වඩාත් විධිමත්ව මෙන්ම කාර්යක්ෂමව ක්රියාත්මක කිරීමට හැකි වනු ඇති බවයි.

