යුරෝපා සංගමයේ සත් අවුරුදු අයවැය සහ යුක්‍රේන ආධාර පිළිබඳ එකඟතාවකට එළඹීමට ප්‍රංශය හා ජර්මනිය දැඩි උත්සාහයක

0
6

යුරෝපා සංගමයේ 2028 – 2034 කාලසීමාව සඳහා වන අයවැය සහ යුක්‍රේනයට මූල්‍යාධාර ලබා දීම සම්බන්ධයෙන් මේ වසර අවසන් වීමට පෙර එකඟතාවකට පැමිණීමට ප්‍රංශය සහ ජර්මනිය දැඩි උත්සාහයක නිරත වෙමින් සිටී.

කෙසේ වෙතත්, ඊයේ (26) පැවති යුරෝපා සංගම් නායකයින්ගේ සාකච්ඡාවලදී මතු වූ මතභේද හේතුවෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට නොහැකි වූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

2027 වසරේදී ප්‍රංශය, ඉතාලිය, පෝලන්තය, ග්‍රීසිය, එස්තෝනියාව, ෆින්ලන්තය සහ ස්ලෝවැකියාව යන රටවල මැතිවරණ පැවැත්වීමට නියමිත බැවින්, ඊට පෙර අයවැය සම්මත කර නොගතහොත් එකඟතාවකට පැමිණීම වඩාත් සංකීර්ණ විය හැකි බවට මත පළ වී තිබේ.

විශේෂයෙන් ප්‍රංශයේ දක්ෂිණාංශික දේශපාලන නායිකා මරීන් ලෙ පෙන් බලයට පත් වුවහොත් යුක්‍රේනයට ලබා දෙන ආධාර නතර කරන බවට සහ යුරෝපා සංගම් අයවැයට ප්‍රංශය ලබා දෙන දායකත්වය කප්පාදු කරන බවට ප්‍රකාශ කර තිබීම ද මීට බලපා ඇති අතර, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් අවධාරණය කර ඇත්තේ දෙසැම්බර් 31 වැනිදාට පෙර මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට එළඹිය යුතු බවයි.

යෝජිත සත් අවුරුදු අයවැයේ සමස්ත වටිනාකම යුරෝ ට්‍රිලියන 1.582ක් වන අතර, කොවිඩ් වසංගත සමයේ ලබාගත් ණය ආපසු ගෙවීම සඳහා යුරෝ බිලියන 140ක් ද, යුරෝපීය ගොවීන්ට සහ ආර්ථික වශයෙන් පසුගාමී කලාපවලට සහාය වීම සඳහා යුරෝ බිලියන 740ක පමණ මුදලක් ද වෙන් කිරීමට යෝජිතය.

ඊට අමතරව, මෙම අයවැය යටතේ යුක්‍රේනය සඳහා යුරෝ බිලියන 100ක් දක්වා මුදලක් වෙන් කිරීමටත්, 2027 වසර වෙනුවෙන් යුක්‍රේනයට ලබා දීමට යුරෝ බිලියන 45ක ණය මුදලක් ඒකාබද්ධව ලබා ගැනීමටත් යුරෝපා සංගමය සැලසුම් කර තිබේ.

රුසියාව යුද වන්දි ගෙවීමෙන් අනතුරුව පමණක් ආපසු ගෙවීමට යෝජිත එම ණය මුදල සඳහා සියලු සාමාජික රටවල් දායක වීමට ස්ලෝවැකියාව, චෙක් ජනරජය, හංගේරියාව සහ බල්ගේරියාව විරෝධය පළ කර ඇත.

යෝජිත අයවැය සම්මත කර ගැනීමට සාමාජික රටවල් 27හිම ඒකමතික අනුමැතිය අවශ්‍ය වන බැවින්, එළඹෙන දෙසැම්බර් 17 සහ 18 යන දිනවල පැවැත්වෙන යුරෝපා සංගම් නායකයින්ගේ හමුවේදී මේ පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණීමට අපේක්ෂා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here