ආසියානු නැගීඑන තරු එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ඉන්දීය ‘A’ කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් කළ පවන් රත්නායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම, අපරාජිතව තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
දෝහා හි ‘West End Park’ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායම ලබා දුන් ලකුණු 318ක දැවැන්ත ඉලක්කය පන්දුවාර 41.3කදී කඩුලු 2ක් පමණක් දැවී පසුකර යෑමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වූ අතර, මූලික වටයේදී පාකිස්තානය හමුවේ ද පරාජය වූ ඉන්දීය කණ්ඩායමට මෙම පරාජයත් සමඟ තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.
ශ්‍රී ලංකා ඉනිමට ප්‍රබල ආරම්භයක් ලබා දුන් ලසිත් කෘෘස්පුල්ලේ සහ සිනෙත් ජයවර්ධන පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 174ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැඟූහ.
ඉන්දීය පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කළ සිනෙත්, හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් සමඟින් පන්දු 70කදී වේගවත් ලකුණු 105ක් රැස් කළ අතර, ඔහුගේ දැවී යෑමෙන් පසුව ද ඉනිමේ වගකීම කරට ගත් කෘෘස්පුල්ලේ 35 වැනි පන්දුවාරය වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 265 දක්වා ඉහළට ඔසවා තැබීය.
හතරේ පහර 12කින් සහ හයේ පහර 3කින් සිය ඉනිම වර්ණවත් කර ගත් කෘෘස්පුල්ලේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ලකුණු 116කට දැවී ගියේය.
අනතුරුව පිටියට එක් වූ නායක පවන් රත්නායක සහ නිශාන් මධුෂ්ක ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු වන තෙක්ම නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් ඉනිම ජයග්‍රාහී අන්තය කරා මෙහෙයවූහ.
එහිදී නිශාන් මධුෂ්ක නොදැවී ලකුණු 58ක් රැස් කරද්දී, නායක පවන් රත්නායක පන්දු 16කදී වේගවත් ලකුණු 31ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් මහා තරග ප්‍රවේශය ඉක්මන් කළේය.

