ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (WBSC) 60 වැනි සංවත්සර සමරු උලෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (28) නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී ආරම්භ වී දෙසැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
ථේරවාද, මහායාන සහ වජ්රයාන යන බෞද්ධ සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50කට අධික සංඛ්‍යාවක භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා මෙන්ම විදේශීය ගිහි නියෝජිතයන් 800කට ආසන්න පිරිසක් මීට සහභාගී වන අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය 5,000කට ආසන්න පිරිසක් ද එක්වීමට නියමිතව තිබේ.
විදේශීය මහා සංඝරත්නය සහ නියෝජිතයන් පැමිණෙන කටුනායක ගුවන්තොටුපළ අවට ප්‍රදේශ මෙන්ම ඔවුන් සංචාරය කරන අනුරාධපුරය සහ මහනුවර ඇතුළු ප්‍රදේශ අලංකාරවත් කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
මෙවැනි ජාත්‍යන්තර සැමරුම් උලෙළක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ලැබීම රටට මහත් අභිමානයක් බවත්, එමගින් මෙරට සංවිධාන ශක්තිය සහ ආගන්තුක සත්කාරය ලොවට විදහා දැක්වීමට මෙන්ම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ද සුවිශේෂී අවස්ථාවක් උදාවන බවත් මේ පිළිබඳ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේය.

