ජේ. නි. පොලිස්පති දේශබන්ධ‍ු තෙන්නකෝන්, මාධ්‍යවේදියෙකුට කළ තර්ජනාත්මක ප්‍රතිචාරය සම්බන්ධව මාධ්‍ය සංවිධාන එකතුව පොලිස්පතිට ලියයි..

0
560

NEWSNOW   | – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතාට සමාජ මාධ්‍ය ඔස්සේ අනියම් තර්ජනයක් සිදුකරන ලද බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසත්, මාධ්‍යවේදියාගේ ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ පියවර ගන්නා ලෙසත් මාධ්‍ය සංවිධාන එකමුතුව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා.

වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමළ මාධ්‍ය සංසදය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මේ එකමුතුව නියෝජනය කරයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද පිටපත් සහිතව එම එකමුතුව යොමු කළ ලිපිය පහත සම්පූර්ණයෙන් ම පළවේ.

චන්දන වික්‍රමරත්න මහතා,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

පොලිස්පතිතුමනි,

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ෆේස්බුක් ඔස්සේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට දක්වන ලද තර්ජනාත්මක ප්‍රතිචාරය සම්බන්ධවයි.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ බෙදාගන්නා ලද ප්‍රවෘත්තියකට ප්‍රතිචාර දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඊයේ (01) ඔහුට අනියමෙන් තර්ජනය කර තිබේ.
අදාළ ප්‍රවෘත්තිය සඳහන් ෆේස්බුක් පෝස්ටුව – https://m.facebook.com/story.php?story_fbid=4804876112874609&id=100000568041748 
මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් අසත්‍ය ප්‍රවෘත්ති පළ කරන ලද බවත්, ඒවාට අදාළව සොබාදහම දඬුවම් කරනු ඇති බවත් දිගින්-දිගටම සඳහන් කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, ප්‍රභාකරන්ට සහ අනෙකුත් අපරාධකරුවන්ට සිදුවූයේ කුමක් දැයි බලන ලෙස අවධාරණයෙන් කියා සිටී. මාධ්‍යවේදියා මෙහිදී තමන් ලියන ලද අසත්‍ය පුවත් මොනවාදැයි විමසා සිටියද, ඊට නිශ්චිත පිළිතුරක් දේශබන්දු තෙන්නකෝන් විසින් ලබා දී නැත. එක් අවස්ථාවකදී පමණක් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වන ප්‍රවෘත්තියක් පිළිබඳව ඔහු සඳහන් කරයි.

තරිඳු ජයවර්ධන ප්‍රධාන කර්තෘ ධුරය දරන http://www.medialk.com පුවත් වෙබ්අඩවිය එම ප්‍රවෘත්තිය සඳහන් කළ ආකාරය – https://medialk.com/archives/5653

එම ප්‍රවෘත්තියේ මූලාශ්‍රය වන්නේ 2021 ජුනි 29දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී තරිඳු ජයවර්ධන යොමුකරන ලද ප්‍රශ්නයකට ජනමාධ්‍ය ඇමැති සහ කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල විසින් ලබාදුන් පිළිතුරයි.

මෑත කාලීන සිදුවීම් දෙස බලන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සිදු කර ඇති ‘Borumai kiyanne soba dhahama jayagani – Aniwarwen see prbakaran and other Criminals’ යන ප්‍රකාශය ඇතුළත් ප්‍රතිචාර දැක්වීමෙහි බරපතළ අනතුරු ඇඟවීමක් ගැබ්ව ඇති බව බව අපි විශ්වාස කරමු.

එසේම, අසත්‍ය පුවත් පළකරන ලද බවට චෝදනා කරමින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන මේ වනවිටත් රැඳවුම් භාරයේ සිටින බහුතරයකට එරෙහිව විධිමත්ව අධිකරණය ඉදිරියේ චෝදනා ගොනුකිරීමක් සිදුව නැති පසුබිමක නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට දක්වන ලද ඉහත ප්‍රතිචාරය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකරන ලෙසත්, ඊට අදාළ ව විධිමත් විමර්ශනයක් සිදුකොට, මාධ්‍යවේදියාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ඉල්ලා සිටිමු