දෙරට අතර සංචාරක ඉල්ලුම ඉහළ යාම හේතුවෙන්, නොවැම්බර් 15 වැනිදා සිට මෙල්බර්න් වෙත සතිපතා ගුවන් වාර තුනක් අතිරේකව එකතු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය (SriLankan Airlines) නිවේදනය කර ඇත. ඒ සමඟම ඕස්ට්‍රේලියාව වෙත ක්‍රියාත්මක කරන සමස්ත සේවා වාර සංඛ්‍යාව සතියකට ගුවන් වාර 14ක් දක්වා ඉහළ යයි.
ජාතික ගුවන් සේවය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙම අතිරේක මෙල්බර්න් ගුවන් වාර අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා යන දිනවල ක්‍රියාත්මක වන බවත්, එය ඕස්ට්‍රේලියානු නගරය වෙත දැනට පවතින දෛනික සේවාවන්ට අමතරව ක්‍රියාත්මක වන බවත්ය.
නව කාලසටහනට අනුව, UL608 දරන ගුවන් යානය පස්වරු 2.15ට කොළඹින් පිටත්වී පසුදින අලුයම 5.40ට මෙල්බර්න් වෙත ළඟා වනු ඇත. ආපසු පැමිණීමේ ගුවන් වාරය වන UL609, උදෑසන 7.10ට මෙල්බර්න් සිට පිටත්වී පස්වරු 12.10ට කොළඹට ළඟා වීමට නියමිතය.
මීට අමතරව, මෙල්බර්න් වෙත දැනට ක්‍රියාත්මක වන දෛනික ගුවන් සේවයද අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, ඒ යටතේ UL604 ගුවන් යානය මධ්‍යම රාත්‍රී 12.35ට කොළඹින් පිටත්වී පස්වරු 4.00ට මෙල්බර්න් වෙත ළඟා වේ. ආපසු පැමිණෙන UL605 ගුවන් යානය පස්වරු 5.30ට මෙල්බර්න් සිට පිටත්වී රාත්‍රී 10.30ට කොළඹට ළඟා වනු ඇත.
විවේක සුවයෙන් යුතුව සංචාරය කරන්නන් සහ විදෙස්ගත ශ්‍රී ලංකික ප්‍රජාව හේතුවෙන්, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් අතින් ඕස්ට්‍රේලියාව වේගයෙන්ම වර්ධනය වන වෙළඳපොළක් ලෙස අඛණ්ඩව මතුවී එන පසුබිමක මෙම ගුවන් වාර පුළුල් කිරීම සිදුකළ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.
මෙම අතිරේක ගුවන් වාර හරහා, කොළඹ හරහා ලන්ඩන්, චෙන්නායි, දිල්ලි සහ මාලේ ඇතුළු ගමනාන්ත වෙත ගමන් කරන මගීන්ට අඩු සංක්‍රාන්ති කාලයක් (transit times) ලබා දීමට අපේක්ෂා කරන අතර, හවුල්කාර ගුවන් සමාගම් හරහා ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ අනෙකුත් ගමනාන්ත වෙත සම්බන්ධ වීමේ පහසුකම් ද වැඩිදියුණු කෙරේ.
වැඩිදියුණු කළ ධාරිතාව සහ ඉක්මන් සම්බන්ධතා හරහා භාණ්ඩ ප්‍රවාහන (Cargo) පාරිභෝගිකයින්ටද මෙම වැඩි කළ සේවාවන් ප්‍රයෝජනවත් වනු ඇති බව ගුවන් සේවය පවසයි. විශේෂයෙන්ම මෙල්බර්න් සිට කොළඹ හරහා මැදපෙරදිග ගමනාන්ත වෙත යවන භාණ්ඩ තොග සඳහා මෙයින් වඩාත් වාසි සැලසේ.
මෙම පුළුල් කිරීමත් සමඟ, ශ්‍රී ලංකන් ගුවන් සේවය ඕස්ට්‍රේලියාව වෙත සතිපතා ගුවන් වාර 14ක් ක්‍රියාත්මක කරනු ඇති අතර, එය මෙල්බර්න් වෙත සේවා 10ක් සහ සිඩ්නි වෙත සේවා 4ක් ලෙස සමන්විත වේ.

