ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා සම්බන්ධයෙන්, අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය වී තිබේ. අනුකමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පසුගියදා පැවැත්විණි. ඊට විදුහල්පති සේවයේ වෘත්තීය සමිති නියෝජිතයින් මෙන්ම, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නියෝජනය කරමින් උසස් නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.
සාකච්ඡාවේදී වෘත්තීය සමිති නියෝජිතයින් පෙන්වා දුන්නේ, ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පිවිසීම උසස්වීමක් ලෙස නොව “නව පත්වීමක්” ලෙස සැලකීම මෙම වැටුප් ගැටලුවට මුල් වී ඇති බවයි. විශේෂයෙන්ම, ගුරු සේවයේ පළමුවන ශ්‍රේණියේ සිට විදුහල්පති සේවයේ තෙවන ශ්‍රේණියට පත්වීමේදී වැටුප් වර්ධක අතර පවතින සැලකිය යුතු පරතරය හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වී තිබේ. මෙම වැටුප් වෙනස පියවීම සඳහා මීට පෙර ගැලපුම් දීමනාවක් ලබා දී තිබුණ ද, සේවා කාලය ඉදිරියට යාමේදී ගුරු සේවයේම රැඳී සිටියේ නම් හිමිවන ඉහළ වැටුප් වර්ධක නොලැබී යාම නිසා යළිත් වැටුප් පරතරයක් මතුවන බව ඔවුන් පෙන්වා දුන්හ.
මෙම තත්ත්වය හමුවේ, ගුරු සේවයේ පළමුවන සහ දෙවන ශ්‍රේණිවල සේවය කරන ජ්‍යෙෂ්ඨ හා පළපුරුදු ගුරුවරුන් විදුහල්පති විභාගයට පෙනී සිටීමට සහ එම සේවයට පිවිසීමට දැඩි ලෙස අධෛර්යමත් වන බවට කාරක සභාව දැඩි අවධානය යොමු කළේය. මෙහිදී සාකච්ඡා වූ කරුණු සලකා බලා, අදාළ ගැටලුවට විසඳුම් ලබා දීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව වෙත නිල නිර්දේශ ඉදිරිපත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව අනුකමිටු සභාපතිවරයා ප්‍රකාශ කළේය.
මීට අමතරව, විදුහල්පතිවරුන් මුහුණ දෙන අනෙකුත් ගැටලු විසඳා ගැනීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතන අධ්යක්ෂ ජනරාල්වරයා සමඟ ඉදිරියේදී විශේෂ සාකච්ඡා පවත්වන බවද තීරණය කෙරිණි. මෙම වැදගත් රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් අතම්බාවා, සුගත් වසන්ත ද සිල්වා සහ චානක මාදුගොඩ යන මහත්වරුන් ද සහභාගී වී සිටියහ.

