ශැංහයි සමුළුවට සහභාගී වීමට චීන ජනාධිපති ෂී ජින්පිං කිර්ගිස්ථානයට

0
2
None

2026 ශැංහයි සහයෝගීතා සංවිධානයේ (SCO) රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ (30) බෙයිජිං නුවරින් පිටත්ව ගොස් තිබේ. කිර්ගිස්ථානයේ බිෂ්කෙක් (Bishkek) නුවරදී මෙම සමුළුව පැවැත්වීමට නියමිතය.

සමුළුවෙන් අනතුරුව, කිර්ගිස්ථාන ජනාධිපති සාදීර් ජපාරොව් (Sadyr Japarov) සහ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි (Abdel Fattah Al-Sisi) යන මහත්වරුන්ගේ නිල ආරාධනයකට අනුව චීන ජනාධිපතිවරයා එම රටවල නිල රාජ්‍ය සංචාරයන්හි ද නිරත වනු ඇත.

මෙම සංචාරය පිළිබඳ අදහස් දක්වමින් චීන ජනාධිපතිවරයා සඳහන් කළේ, චීනය සහ කිර්ගිස්ථානය අතර පවතින්නේ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන සාම්ප්‍රදායික මිත්‍රත්වයක් බවයි. රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 34ක් සපිරෙන මෙම මොහොත වන විට, දෙරට අතර සබඳතා ස්ථාවරව වර්ධනය වී ඇති අතර නව යුගයක පුළුල් උපායමාර්ගික හවුල්කාරීත්වයක ඉහළම මට්ටමකට ළඟා වී ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

එමෙන්ම, මෙවර ශැංහයි සහයෝගීතා සංවිධාන සමුළුව හරහා සාමාජික රටවල ඉදිරි සංවර්ධනය සහ එකමුතුකම තවදුරටත් ශක්තිමත් කිරීමට සියලු පාර්ශ්වයන් සමඟ එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ෂී ජින්පිං මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here