ශ්‍රී ලංකාවේ රාජ්‍යයක් ගොඩනැගීමේ නිම නොවෙන කාර්යභාරය

0
6

ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පි රයිසා යෙහියා (Riza Yehiya) විසිනි

රටට අවශ්‍ය කරන්නේ හුදෙක් වඩා හොඳ ආණ්ඩුවක් පමණක් නොවේ. රටවැසියන් ආරක්ෂා කරන, මහජන විශ්වාසය දිනාගන්නා සහ සමාන පෞරවැසිභාවය තුළින් විවිධාංගීකරණය වූ ජනතාවක් එකමුතු කරන රාජ්‍යයකි. නිදහසින් පසු ශ්‍රී ලංකාව මෙතෙක් ආණ්ඩු රැසක් වෙනස් කර ඇත. එහෙත් ඊටත් වඩා ගැඹුරු අභියෝගය බොහෝ දුරට විසඳ නොවී ඉතිරිව පවතී: “අපට ගොඩනැඟීමට අවශ්‍ය වන්නේ කෙබඳු රාජ්‍යයක්ද?”

2022 වසරේ ඇති වූ ආර්ථික හා දේශපාලන කැළඹීම රටට ලබා දුන්නේ නොසන්සුන්කාරී පිළිතුරකි. එම අර්බුදය හුදෙක් මූල්‍ය අක්‍රමිකතාවල හෝ ප්‍රතිපත්තිමය වැරදිවල ප්‍රතිඵලයක් පමණක් නොවේ. එමඟින් රාජ්‍යය සහ පෞරවැසියා අතර පැවති සබඳතාවයේ ගැඹුරු දුර්වලතා එනම්—දේශපාලනමය කළ ආයතන, පවුල්වාදය/දේශපාලන රැකවරණය (patronage), දූෂණය, දුර්වල වගවීම සහ මහජන විශ්වාසය පිරිහීම—මතුපිටට ගෙන එන ලදී.

බොහෝ කලක සිට රාජ්‍යය භාවිතා කර ඇත්තේ ජනතාවට සේවය කිරීමට සහ ආරක්ෂා කිරීමට ඇති ආයතනයක් ලෙස නොව, ප්‍රධාන වශයෙන්ම දේශපාලන බලය ලබාගැනීමේ මෙවලමක් ලෙසයි. රාජ්‍ය ආයතන බොහෝ විට දේශපාලන තරගකාරීත්වයට ඇද දමා ඇති අතර, පත්වීම් ලබා දී ඇත්තේ දක්ෂතාවයට වඩා පක්ෂපාතීත්වයට මුල් තැන දෙමිනි. එමෙන්ම මහජන සම්පත් දේශපාලන වාසි සඳහා යොදාගෙන ඇත. මෙහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ පෞරවැසියා සහ රාජ්‍යය අතර පරතරය තවදුරටත් පුළුල් වීමයි.

2024 ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනය මඟින් එම පරතරය පියවීම ආරම්භ කිරීමට වැදගත් අවස්ථාවක් හිමිවේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන සියලු ජනකොටස්වල සහයෝගය ලැබූ ආණ්ඩුවකට, තවත් එක් “ආණ්ඩුක්‍රම වැඩසටහනකට” එහා ගිය මූලික යමක් කිරීමට දුර්ලභ දේශපාලන අවස්ථාවක් ලැබී තිබේ. ඒ අනුව රාජ්‍ය නිර්මාණයේ (State making) ඇති අභියෝගාත්මක කාර්යය ආරම්භ කිරීමට එයට හැකියාව ඇත. මෙහි අරමුණ විය යුත්තේ පාලනය කරනවාට වඩා ආරක්ෂා කරන, අනුග්‍රහය දක්වනවාට වඩා සේවය කරන, සහ බෙදා වෙන්කරනවාට වඩා එකමුතු කරන රාජ්‍යයක් නිර්මාණය කිරීමයි.

රාජ්‍යය අයිති විය යුත්තේ ජනතාවටයි

  • පාලනයෙන් ආරක්ෂාව වෙත: වඩාත්ම වැදගත් ප්‍රශ්නය වන්නේ “රාජ්‍යය පවතින්නේ කුමක් සඳහාද?” යන්නයි. එහි පළමු වගකීම වන්නේ තම ජනතාව ආරක්ෂා කිරීමයි. ආරක්ෂාව යනු අපරාධ, හිංසනය සහ ත්‍රස්තවාදයෙන් ලැබෙන භෞතික ආරක්ෂාව පමණක් නොවේ. ඊට ආර්ථික හා සාමාජික ආරක්ෂාව ද ඇතුළත් වේ—එනම් හොඳ අධ්‍යාපනයක් ලැබීමට, ගුණාත්මක සෞඛ්‍ය සේවාවලට ප්‍රවේශ වීමට, සුරක්ෂිත ජීවනෝපායක් උපයා ගැනීමට, ආරක්ෂිත සමාජයක ජීවත් වීමට සහ ගෞරවාන්විතව අනාගතයට මුහුණ දීමට ඇති අවස්ථාවයි. පොලිස් සේවයක් විසින් ආරක්ෂා කළ යුත්තේ දේශපාලන හිතවාදීන් නොව මහජනතාවයි. බුද්ධි අංශ ක්‍රියාත්මක විය යුත්තේ දේශපාලන ප්‍රතිපක්ෂයන්ට එරෙහිව නොව ජාතික ආරක්ෂාවට ඇති නියම තර්ජනවලට එරෙහිවයි. අධිකරණය විසින් සාධාරණත්වය ඉෂ්ට කළ යුත්තේ දේශපාලන වාසියට නොව නීතියට අනුකූලවයි. රාජ්‍ය නිලධාරීන් සේවය කළ යුත්තේ දේශපාලන අනුග්‍රාහකයාට නොව පෞරවැසියාටයි. බලය ක්‍රියාත්මක කළ හැකි නමුත් තම පෞරවැසියන් ආරක්ෂා කිරීමට නොහැකි රාජ්‍යයක් බලවත් රාජ්‍යයක් මිස ශක්තිමත් රාජ්‍යයක් නොවේ. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ශක්තිය පිළිබඳ වෙනස්ම අර්ථකථනයකි: එනම් රාජ්‍යයේ ශක්තිය මනිනු ලබන්නේ එය ලබා දෙන ආරක්ෂාව, සාධාරණත්වය, අවස්ථා සහ ජීවන තත්ත්වය අනුවය.

  • ආණ්ඩුව තාවකාලිකයි. රාජ්‍යය ස්ථිරයි: ශ්‍රී ලංකාව තවත් වෙනසක් වහාම යථා තත්ත්වයට පත් කරගත යුතුව ඇත: එනම් “ආණ්ඩුව යනු රාජ්‍යය නොවේ” යන්නයි. ආණ්ඩු තේරී පත් වන්නේ සීමිත කාලයකට දේශපාලන බලය ක්‍රියාත්මක කිරීමටයි. රාජ්‍යය යනු රට පාලනය වන ස්ථිර ආයතනික රාමුවයි. එහි රාජ්‍ය පරිපාලනය, අධිකරණය, පොලිසිය, ආරක්ෂක ආයතන සහ අනෙකුත් මහජන ආයතන දේශපාලන පරිවර්තනයන්ට එහා යමින් සක්‍රීයව පැවතිය යුතුය. ආණ්ඩු විසින් රාජ්‍යය තමන්ගේ දේශපාලන දේපළක් ලෙස සලකන විට, ආයතන දේශපාලන ග්‍රහණයට ලක්වේ. පත්වීම් යනු පක්ෂපාතීත්වයට දෙන තෑගි බවට පත්වේ. සම්පත් යනු දේශපාලන බලපෑම් සඳහා යොදාගන්නා මෙවලම් බවට පත්වේ. වෘත්තීය මට්ටම පහත වැටෙන අතර ආයතනික මතකය නැති වී යයි. එම නිසා ආණ්ඩුව රාජ්‍යයේ අයිතිකරුවා ලෙස නොව එහි භාරකරුවා ලෙස තේරුම් ගත යුතුය. ප්‍රමුඛතාවයන් තීරණය කිරීමට සහ තමන්ට ලැබුණු ජනවරම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවලට බලය තිබිය යුතුය. නමුත් රාජ්‍යයේ ස්ථිර ආයතන වෘත්තීය මට්ටමින්, අපක්ෂපාතීව සහ නීතියට වගකියන අයුරින් පැවතිය යුතුය. රාජ්‍යය අයිති ජනතාවටයි.

පෞරවැසියා මධ්‍යගත කිරීම

  • ජාතිය කේන්ද්‍ර කරගත්, ජනතාව කේන්ද්‍ර කරගත් ප්‍රතිපත්ති සම්පාදනය: ශ්‍රී ලංකාව මහජන ප්‍රතිපත්ති සාදන ආකාරය වෙනස් නොකරන්නේ නම් රාජ්‍ය පරිවර්තනය අසම්පූර්ණ එකක් වනු ඇත. බොහෝ විට ප්‍රතිපත්ති සකස් වන්නේ ක්ෂණික දේශපාලන ගණන් හැදීම් මතය: එනම් ඡන්ද පදනම පිනවීම, පීඩන කණ්ඩායම් සෑහීමකට පත්කිරීම හෝ පවතින අවශ්‍යතාවන් ආරක්ෂා කිරීම සඳහාය. මෙහිදී අත්‍යවශ්‍ය ප්‍රශ්නය නිතරම මඟහැරී යයි: “මෙම ප්‍රතිපත්තිය මඟින් පෞරවැසියන්ගේ ජීවිත සහ අනාගතය යහපත් වේද?” මහජන ප්‍රතිපත්තියක ආරම්භක ස්ථානය විය යුත්තේ එම ප්‍රශ්නයයි. ජාතිය මධ්‍ය කරගත්, ජනතාව කරගත් ප්‍රතිපත්ති සම්පාදනය යනු පෞරවැසියන්ගේ සුභසාධනය, ආරක්ෂාව, ගෞරවය සහ අනාගත හැකියාවන් වටා ප්‍රතිපත්ති නිර්මාණය කිරීමයි.

    • කෘෂිකර්මාන්තය මඟින් ආර්ථිකමය අවදානම පවත්වාගෙන යනවාට වඩා ඵලදායී හා තිරසාර ජීවනෝපායක් නිර්මාණය කළ යුතුය.

    • අධ්‍යාපනය මඟින් තරුණ තරුණියන් හෙට දිනයේ රැකියා සහ තාක්ෂණය සඳහා සූදානම් කළ යුතුය.

    • බලශක්ති ප්‍රතිපත්තිය මඟින් ජාතික නම්‍යශීලීභාවය ශක්තිමත් කළ යුතු අතර බාහිර අර්බුද මත අනවශ්‍ය ලෙස රඳා පැවැත්ම අඩු කළ යුතුය.

    • සෞඛ්‍ය ක්ෂේත්‍රය මඟින් සැමට ප්‍රවේශ විය හැකි, ගුණාත්මක සේවාවක් ලබා දිය යුතුය.

    • යටිතල පහසුකම් මඟින් මානව අවශ්‍යතා මෙන්ම ආර්ථික ඵලදායීතාව ද සපිරිය යුතුය.

    මෙම ප්‍රතිපත්ති ද එකිනෙක සම්බන්ධ වී ක්‍රියාත්මක විය යුතුය. නවෝත්පාදනයන් අඩපණ කරන ප්‍රතිපත්ති පවත්වාගෙන යන අතරතුර යෞවනයන් නූතන ආර්ථිකයකට සූදානම් කළ නොහැක. ආනයනික බලශක්තිය මත අධික ලෙස රඳා පවතිමින් ආර්ථික ස්ථාවරත්වයක් ලබාගත නොහැක. ප්‍රාදේශීය අසමානතාවයන් දිගින් දිගටම පවත්වාගෙන යමින් ජාතික සමෘද්ධිය ගොඩනැඟිය නොහැක. එබැවින් ශ්‍රී ලංකාවට ප්‍රතිපත්තිමය අනුකූලතාවයක් අවශ්‍ය වේ—එනම් වෙන් වෙන් වූ වැඩසටහන් හරහා පාලනය කරනවාට වඩා විවිධ ක්ෂේත්‍ර අතර ඇති සබඳතාව දැකිය හැකි රාජ්‍යයක් අවශ්‍ය වේ.

  • ජීවන තත්ත්වය යනු සැබෑ පරීක්ෂණයයි: රාජ්‍යයක සැබෑ පරීක්ෂණය වන්නේ එහි රාජ්‍ය යන්ත්‍රණයේ විශාලත්වය හෝ එය ප්‍රකාශයට පත් කරන ප්‍රතිපත්ති සංඛ්‍යාව නොවේ. සැබෑ පරීක්ෂණය වන්නේ සාමාන්‍ය ජනතාවට සිදුවන්නේ කුමක්ද යන්නයි. තරුණයෙකුට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගෙන අර්ථවත් රැකියාවක් සොයාගත හැකිද? පවුලකට ආර්ථික දුෂ්කරතාවලින් තොරව සෞඛ්‍ය සේවාවක් ලබාගත හැකිද? ගොවියෙකුට විනාශ නොවී ආදායමක් ලැබිය හැකිද? කුඩා ව්‍යවසායකයෙකුට දේශපාලන සබඳතා නැතුව ව්‍යාපාරයක් කරගෙන යා හැකිද? පෞරවැසියෙකුට අල්ලස් නොදී රාජ්‍ය සේවාවක් ලබාගත හැකිද? පාලනය මැනීමේ සැබෑ මිනුම්දඬු මේවාය. පෞරවැසියන් යනු ආණ්ඩුවේ සහන ලබන අක්‍රිය ප්‍රතිග්‍රාහකයන් ලෙස හෝ මැතිවරණ සමයට පමණක් එකතු කරගන්නා ඡන්දදායකයන් ලෙස සැලකීම නතර කළ යුතුය. ඔවුන් ජාතික ව්‍යාපෘතියේ පාර්ශ්වකරුවන් ලෙස හඳුනාගත යුතුය.

  • අනාගතයට ගැලපෙන රාජ්‍යයක් ගොඩනැඟීම: වෘත්තීය සිවිල් සේවයක් නොමැතිව කිසිදු රටකට සමර්ථ රාජ්‍යයක් ගොඩනැඟිය නොහැක. පත්වීම් ලබාදීමේදී දේශපාලන පක්ෂපාතීත්වයට වඩා දක්ෂතාවය, සුදුසුකම් සහ අඛණ්ඩතාවය/සදචාරසම්පන්න බව (integrity) පිළිඹිබු විය යුතුය. තාක්ෂණික තනතුරු සඳහා සුදුසු වෘත්තීය සුදුසුකම් තිබිය යුතු අතර ආයතන පැහැදිලි අරමුණු සහ මැනිය හැකි ප්‍රමිතීන් සහිතව ක්‍රියාත්මක විය යුතුය. කාර්යසාධනය වැදගත් වේ. මහජන සම්පත් යෙදවීම ප්‍රතිඵල සමඟ සම්බන්ධ විය යුතු අතර මහජන ආයතන තමන් ලබා දෙන සේවාවන් සඳහා වගකිය යුතු වේ. සිවිල් සේවය වෘත්තීය මට්ටමකට ගෙන ඒම යනු හුදෙක් පරිපාලනමය ව්‍යායාමයක් පමණක් නොවේ. එය ආණ්ඩුව කෙරෙහි මහජන විශ්වාසය නැවත ගොඩනැඟීමේ මාර්ගයයි. නිලධාරියෙකු පත් කර ඇත්තේ දේශපාලන සබඳතා මත නොව දක්ෂතාවය මත බව පෞරවැසියන් දන්නා විට, පෞරවැසියා සහ රාජ්‍යය අතර සබඳතාවය වෙනස් වීමට පටන් ගනී.

  • ප්‍රතිපත්ති අතීතයේ මිදී පැවතිය නොහැක: ශ්‍රී ලංකාව තවමත් ගෙන යන්නේ බොහෝ කලකට පෙර වෙනස් වූ අවස්ථාවන් සඳහා නිර්මාණය කරන ලද ප්‍රතිපත්ති වේ. සමහරක් තවමත් ප්‍රයෝජනවත්ය. අනෙක් ඒවා රටේ අවශ්‍යතාවලට තවදුරටත් ගැලපෙන්නේ නැත. එබැවින් සෑම ප්‍රධාන ප්‍රතිපත්තියක්ම වරින් වර පරීක්ෂණ තුනකට ලක් කළ යුතුය:

    1. එය අනාගතයට අදාළද?

    2. එය ඵලදායීද?

    3. එය තිරසාරද?

    එය මෙම පරීක්ෂණ අසමත් වන්නේ නම්, එය ප්‍රතිසංස්කරණය කිරීම හෝ වෙනස් කිරීම කළ යුතුය. ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය යනු අර්බුදයකින් පසු පමණක් සිදුකරන දෙයක් නොව, පාලනයේ ස්ථිර ලක්ෂණයක් විය යුතුය.

  • පෞරවැසියන් අනාගතයට සූදානම් කිරීම (Future-proofing): ඊළඟ අර්බුදය ඊට පෙර පැවති අර්බුදයට වඩා වෙනස් විය හැක. කාලගුණික වෙනස්වීම්, තාක්ෂණික බිඳවැටීම්, ජනගහන විපර්යාස සහ භූ-දේශපාලනික අවිනිශ්චිතතාවයන් මඟින් ආර්ථිකයට සහ සමාජයට එල්ල වන බලපෑම වැඩි වනු ඇත. රාජ්‍යය විසින් මෙම පීඩනයන් පූර්ව නිගමනය කිරීමට ඉගෙන ගත යුතුය. අනාගතයට සූදානම් වීම යනු දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම, නැඟී එන ආර්ථිකයට අවශ්‍ය කුසලතා වර්ධනය කිරීම, බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම, ආර්ථික සබඳතා විවිධාංගීකරණය කිරීම සහ අවදානමට ලක්විය හැකි පෞරවැසියන් ආරක්ෂා කිරීමයි. ප්‍රශ්නය විය යුත්තේ ඊළඟ අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් වන්නේ කෙසේද යන්න පමණක් නොවේ. වඩාත්ම වැදගත් ප්‍රශ්නය වන්නේ: ඊළඟ අර්බුදයෙන් අපගේ ජනතාව විනාශ නොවීමට වගබලා ගන්නේ කෙසේද? යන්නයි. ප්‍රතික්‍රියාශීලී පරිපාලනය සහ උපායමාර්ගික රාජ්‍ය තාන්ත්‍රිකභාවය (strategic statecraft) අතර වෙනස එයයි.

රාජ්‍යය පෞරවැසියාට සමීප කිරීම

  • ප්‍රාදේශීය පාලනය වැදගත් වේ: රාජ්‍ය ප්‍රතිසංස්කරණය සම්පූර්ණයෙන්ම කොළඹ සිට සැලසුම් කළ නොහැක. බොහෝ පෞරවැසියන්ට රාජ්‍යය අත්විඳීමට ලැබෙන්නේ ප්‍රදේශයේ මාර්ග, අපද්‍රව්‍ය එකතු කිරීම, ප්‍රාදේශීය යටිතල පහසුකම්, බලපත්‍ර, පොදු ස්ථාන, ප්‍රජා පහසුකම් සහ නගර සභා සේවාවන් හරහා ය. එබැවින් ප්‍රාදේශීය පාලනය යනු රාජ්‍ය ප්‍රතිසංස්කරණයේ අතිරේක කොටසක් නොවේ. එය එහි පදනමකි. “සමග්‍ර සැලසුම්කරණය සහ වාර්තාකරණ රාමුව” (Integrated Planning and Reporting framework) මඟින් හොඳ ආකෘතියක් සපයන්නේ එය ප්‍රජාවේ ප්‍රමුඛතාවයන් උපායමාර්ගික සැලසුම්කරණය, අයවැයකරණය, ක්‍රියාත්මක කිරීම සහ කාර්යසාධන අධීක්ෂණය සමඟ සම්බන්ධ කරන බැවිනි. එහි මූලික තර්කය සරලයි: ප්‍රජාවන්ට තමන්ගේ ප්‍රමුඛතාවයන් හඳුනා ගැනීමට අර්ථවත් හඬක් තිබිය යුතු අතර, ප්‍රාදේශීය බලධාරීන් ප්‍රතිඵල ලබා දීමට වගකිය යුතු වේ. වඩාත් සමර්ථ ප්‍රාදේශීය පාලන ක්‍රමයකට ජාතික දිශානතිය දුර්වල නොකර රාජ්‍යය වඩාත් ප්‍රතිචාරාත්මක කළ හැකිය.

  • රාජ්‍යයේ අමතක වූ ශක්තිය: ශ්‍රී ලංකාව “ආයතනික මතකයේ” වැදගත්කම ද හඳුනාගත යුතුය. දේශපාලන නායකයින් වෙනස් වේ. ආණ්ඩු වෙනස් වේ. නමුත් බොහෝ රාජ්‍ය නිලධාරීන් පද්ධතිය තුළ රැඳී සිටින අතර එක් පාලනයක සිට තවත් පාලනයකට වටිනා අත්දැකීම් ගෙන යයි. එබැවින් රාජ්‍ය පරිපාලනයේ මධ්‍යම මට්ටම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. දත්ත විශ්ලේෂණය, පහසුකම් සැලසීම, අන්තර්ග්‍රහණ සැලසුම්කරණය (inclusive planning) සහ කාර්යසාධන කළමනාකරණය පිළිබඳව නිලධාරීන් පුහුණු කිරීමෙන් දේශපාලන චක්‍රයන් ඉක්මවා ප්‍රතිසංස්කරණ පවත්වාගෙන යා හැකි වෘත්තීයමය හරයක් නිර්මාණය කළ හැකිය. මෙම නිලධාරීන්ට ආයතනික සාම්ප්‍රදායික පැවැත්මේ නිහඬ භාරකරුවන් විය හැකිය.

  • දූෂණය යනු හුදෙක් සොරකමකට වඩා වැඩි යමක්: දූෂණය බොහෝ විට සාකච්ඡා කරන්නේ මුදල් පිළිබඳ ප්‍රශ්නයක් ලෙසයි. එය ඊට වඩා බෙහෙවින් සීරියස් එකකි. දූෂණය විසින් පෞරවැසියා සහ රාජ්‍යය අතර ඇති සබඳතාවය විනාශ කරයි. බලපත්‍රයක් සඳහා අල්ලසක් අවශ්‍ය බව, රජයේ කොන්ත්‍රාත්තුවක් සඳහා දේශපාලන සබඳතා අවශ්‍ය බව, නැතහොත් සාධාරණත්වය ලැබෙන්නේ බලපෑම් මත බව ජනයා විශ්වාස කරන විට, සමාන පෞරවැසිභාවයේ මූලධර්මය බිඳ වැටීමට පටන් ගනී. ශ්‍රී ලංකාවේ 2025–2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම මඟින් අභියෝගයේ ප්‍රමාණය සහ ආයතන කෙරෙහි ඇති මහජන විශ්වාසය පිරිහීම හඳුනා ගනී. නමුත් සැලසුම් මඟින් ප්‍රතිඵල පෙන්විය යුතුය. දූෂණ විරෝධය ආණ්ඩුවේ සාමාන්‍ය ව්‍යුහයේ කොටසක් විය යුතුය:

    • පාරදෘශ්‍ය ප්‍රසම්පාදනය

    • දක්ෂතාවය මත පදනම් වූ පත්වීම්

    • ඵලදායී නිරීක්ෂණය

    • තොරතුරු වෙත ප්‍රවේශය

    • විශ්වසනීය පරීක්ෂණ සහ ස්ථාවර ලෙස නීතිය බලාත්මක කිරීම.

    දූෂණයට ප්‍රතිවිපාක ඇති බව පෞරවැසියන් දැකිය යුතුය. පිරිසිදු රාජ්‍යයක් යනු සටන් පාඨවලින් හෝ කලාතුරකින් කරන ප්‍රචාරණවලින් නිර්මාණය වන දෙයක් නොවේ. එය නිර්මාණය වන්නේ දූෂණය සිදු කිරීම වඩාත් අපහසු, හඳුනා ගැනීම පහසු සහ වගවීම නිසැකවම සිදුවන ආයතන මඟිනි.

විවිධත්වය මකා නොදමා එකම ජාතියක් ලෙස

  • වර්ගවාදී ජාතිකවාදයේ සිට සිවිල් ජාතිකවාදයට (Civic Nationalism): ශ්‍රී ලංකාව එකම ජාතියක් වීමට සංස්කෘතිකමය වශයෙන් ඒකාකාරී (uniform) විය යුතු නැත. එහි සිංහල, දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් ප්‍රජාවන්ට අනන්‍ය වූ ඉතිහාසයක්, භාෂාවක්, සංස්කෘතියක් සහ අනන්‍යතාවයක් ඇත. මෙම වෙනස්කම් රටේ උරුමයේ කොටසකි. අභියෝගය වන්නේ ඒවා මකා දැමීම නොව, ඒ සියල්ල වැළඳ ගැනීමට තරම් පුළුල් දේශපාලන අනන්‍යතාවයක් නිර්මාණය කිරීමයි. එම අනන්‍යතාවය ජාතිකවාදී (ethnic) නොව සිවිල් (civic) එකක් විය යුතුය. රාජ්‍යය සමඟ ඇති සබඳතාවය තීරණය කළ යුත්තේ ජාතිය, ආගම, භාෂාව හෝ දේශපාලන පක්ෂපාතීත්වය නොව පෞරවැසිභාවයයි. දෙමළ පෞරවැසියෙකුට සිංහල හෝ මුස්ලිම් පෞරවැසියෙකුට මෙන්ම ශ්‍රී ලංකාව තමන්ට ද සම්පූර්ණයෙන්ම අයිති බව හැඟී යා යුතුය. සෑම පෞරවැසියෙකුටම “මේ මගේ රටයි. මේ රාජ්‍යය මාව ආරක්ෂා කරයි. එහි අනාගතයේ මට සමාන තැනක් ඇත” ලෙස කීමට හැකි විය යුතුය. සිවිල් ජාතිකවාදයේ පදනම එයයි.

  • ජනතාව නෙවෙයි, ආයතන එකම මට්ටමකට ගෙන ඒම (Homogenising): ජනතාව ඒකාකාරී කිරීමේ (homogenising) භාෂාව වැරදි ලෙස වටහා ගත හැකිය. ශ්‍රී ලංකාව එහි සංස්කෘතීන් ඒකාකාරී කිරීමට උත්සාහ නොකළ යුතුය. එය උත්සාහ කළ යුත්තේ පෞරවැසිභාවය පිළිබඳ පොදු අත්දැකීමක් නිර්මාණය කිරීමටයි. සෑම පළාතකම සිටින පෞරවැසියන්ට සාධාරණත්වය, රාජ්‍ය සේවාවන්, අධ්‍යාපනය සහ අවස්ථාවන් සඳහා සමාන ප්‍රවේශයක් තිබිය යුතුය. උතුරේ දරුවෙකුට දකුණේ දරුවෙකුට මෙන්ම ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට සමාන අයිතියක් තිබිය යුතුය. නැඟෙනහිර සිටින ව්‍යාපාරිකයෙකුට කොළඹ සිටින ව්‍යාපාරිකයෙකුට මෙන්ම සමානව සැලකිය යුතුය. රාජ්‍යයෙන් සාධාරණ සේවාවක් ලබා ගැනීමට පෞරවැසියෙකුට දේශපාලන බලපෑම් හෝ ජාතික සබඳතා නැතුවම බැරි විය යුතු නැත. එබැවින් අරමුණ වන්නේ සංස්කෘතික ඒකාකාරීත්වය නොව ආයතනික සමානතාවයයි. පෞරවැසියන් රාජ්‍යය සාධාරණ ලෙස අත්විඳින විට, පොදු ආයතන කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය වර්ධනය වේ. ඔවුන් වෙනස්කොට සැලකීම් හෝ නොසලකා හැරීම් අත්විඳින විට, ඔවුන් ස්වභාවිකවම පටු අනන්‍යතාවයන් දෙසට පසුබසී. එම නිසා සමානව සැලකීම යනු ජාතික ඒකාබද්ධතාවයේ ඇති බලවත්ම මෙවලමකි.

  • අසමමිතික සහජීවනය (Asymmetrical synergy): සමානතාවය යනු සෑම ප්‍රජාවකටම හෝ ප්‍රදේශයකටම එකම ප්‍රතිපත්තියක් අවශ්‍ය වන බව නොවේ. ශ්‍රී ලංකාවේ ප්‍රදේශවලට විවිධ ආර්ථික ව්‍යුහයන්, ඉතිහාසයන් සහ අවශ්‍යතා ඇත. උතුරේ ධීවරයෙකු මුහුණ දෙන අභියෝග දකුණේ ගොවියෙකු හෝ නැඟෙනහිර වෙළෙන්දෙකු මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් විය හැකිය. අවශ්‍ය වන්නේ “අසමමිතික සහජීවනයයි”—එනම් වෙනස්කම් හඳුනා ගන්නා අතරම ප්‍රජාවන්ට එකතු වී පරස්පර වාසි අත්කර ගත හැකි යාන්ත්‍රණයන් නිර්මාණය කිරීමයි. ප්‍රාදේශීය තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමට තරම් නම්‍යශීලී වන අතරම, රාජ්‍යය විසින් අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳ පොදු රාමුවක් සැපයිය යුතුය. එබැවින් එකමුතුකම යනු එක හා සමාන වීම නොව එකට එකතු වී වැඩ කිරීමයි.

  • සංහිඳියාව යනු තේරීමක් නොවේ: අතීතය අමතක කරමින් ශ්‍රී ලංකාවට ස්ථාවර ජාතික අනන්‍යතාවයක් ගොඩනැඟිය නොහැක. රටේ පවතින ගැටුම්කාරී ඉතිහාසය, දේශපාලනමය වශයෙන් කොන් කිරීම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩුපාඩු සහ අසමබර සංවර්ධනය නිසා ඇති වූ දුක්ගැනවිලි තවමත් විවිධ ප්‍රජාවන් රාජ්‍යය දෙස බලන ආකාරයට බලපායි. එබැවින් සත්‍යය, සංහිඳියාව, වන්දි ගෙවීම් සහ ආයතනික ප්‍රතිසංස්කරණ යනු අතිරේක මාතෘකා නොවේ. ඒවා රාජ්‍ය ගොඩනැඟීමේ කොටස් වේ. අයුක්තියට ලක් වූ ප්‍රජාවන් තමන්ගේ අත්දැකීම් පිළිගෙන ඇති බව දැනගත යුතුය. ආයතන අතීත වැරදිවලින් පාඩම් ඉගෙන ගත යුතු අතර ඒවා නැවත සිදු නොවීමට ආරක්ෂක පියවරයන් ස්ථාපිත කළ යුතුය. සංහිඳියාව යනු එක් ප්‍රජාවකට හෝ තවත් ප්‍රජාවකට කරන අනුග්‍රහයක් ලෙස නොසැලකිය යුතුය. එය රාජ්‍යයේ නීත්‍යානුකූලභාවය වෙනුවෙන් කරන ආයෝජනයකි. රාජ්‍යය තමාගේ ගෞරවය පිළිගන්නා බව විශ්වාස කරන පෞරවැසියා එම රාජ්‍යය කෙරෙහි විශ්වාසය තැබීමට වැඩි ඉඩක් ඇත.

  • පොදු සංකේතවල සිට පොදු පෞරවැසිභාවය දක්වා: පොදු සිවිල් අවකාශයන් නිර්මාණය කිරීම මෙම ක්‍රියාවලියට දායක විය හැක. පළාත් නවයේම සංස්කෘතික පාරම්පරික උරුමයන් එකතු කරමින් පැවැත්වෙන “ශ්‍රී ලාංකික දිනය” වැනි වැඩසටහන් මඟින් පෞරවැසියන්ට තමන්ගේ අනන්‍යතාවයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් ලෙස පොදු අනන්‍යතාවය සමරන්නට අවස්ථාව ලැබේ. නමුත් සංකේත පමණක් ප්‍රමාණවත් නොවේ. අසමාන රාජ්‍ය සේවාවන්, දේශපාලන වෙනස්කොට සැලකීම් හෝ ආර්ථික කොන්කිරීම් සඳහා සංස්කෘතික උත්සවයකින් වන්දි ගෙවිය නොහැක. පොදු සැමරුම් අර්ථවත් වන්නේ සාධාරණ ආයතන සහ සමාන අවස්ථාවල සහය ලැබෙන විට පමණි. එකමුතුකම, වගවීම, විශ්වාසය, පාරදෘශ්‍යභාවය, සමානතාවය සහ සම්මුතිය වැනි අගයන් සඳහා ද එය අදාළ වේ. මෙම අගයන් හුදෙක් ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඒවා ප්‍රායෝගිකව භාවිත කළ යුතුය. දේශපාලන නායකයන්ගේ සහ රාජ්‍ය ආයතනවල හැසිරීම් තුළින් ඒවා පිළිඹිබු වන බව පෞරවැසියන් දැකිය යුතුය. එකමුතුකම විශ්වාසනීය වන්නේ ජනතාව තමන්ගේ එදිනෙදා ජීවිතය තුළින් එහි ප්‍රතිලාභ අත්විඳින විටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here