පෙරහැර සඳහා හීලෑ අලින් ලබාදීමට අදාළ නව ගැසට් නිවේදනය ළඟදීම පාර්ලිමේන්තුට

0
4

පෙරහැර සංස්කෘතික හා ආගමික උත්සව සඳහා හීලෑ අලින් ලබාදීමේ ක්‍රියාවලිය විධිමත් කරමින් නව ගැසට් නිවේදනයක් නොබෝ දිනකින් නිකුත් කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා අද(21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. වර්තමානයේ පෙරහැර සඳහා යොදාගන්නා බොහෝ අලින්ගේ වයස අවුරුදු 65 ත් 70 ත් අතර අගයක පවතින බව මන්ත්‍රීවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

පෙරහැර හෝ වෙනත් ආගමික කටයුතු සඳහා අලින් ලබාදීම නතර කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව පැහැදිලි කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, එම කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද පැවසීය.

පසුගිය ගැසට් නිවේදනයේ ඇතැම් වගන්ති ඉවත් කිරීමට සිදුවූයේ අධිකරණ තීන්දු කිහිපයක් හේතුවෙන් බව ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව, බුද්ධශාසන අමාත්‍යාංශය සහ අදාළ විෂය ක්ෂේත්‍රයේ විද්වතුන් සමඟ සාකච්ඡා කර සකස් කරන ලද නව ගැසට් නිවේදනය දැනට අවසන් අදියරේ පවතින බව ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කළේය.

නව ගැසට් නිවේදනය මඟින් පෙරහැර සඳහා හීලෑ අලින් ලබාදීමට අදාළ විශේෂ විධිවිධාන සලසා ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. සංස්කෘතික හා ආගමික පෙරහැර සඳහා අලින් යොදාගැනීම නියාමනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා දිවෙන පසුබිමක මෙම ප්‍රකාශය සිදුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here