පෘතුගාලයේ පොදු ස්ථානවල මුහුණ ආවරණය කිරීම තහනම් කෙරෙන නව නීතියකට එරට ජනාධිපති අන්තෝනියෝ හොසේ සේගුරෝ (António José Seguro) මහතා අත්සන් තබා තිබේ. පූර්ණ මුහුණ ආවරණය වන පරිදි බුර්කාව පැළඳ සිටින මුස්ලිම් කාන්තාවන් ඉලක්ක කරගනිමින් මෙම පියවර ගෙන ඇති බවට විචාරකයෝ පෙන්වා දෙති.
ප්‍රාදේශීය මාධ්‍ය විසින් “බුර්කා නීතිය” (Burqa Law) ලෙස නම් කර ඇති මෙම පනත, එරට පාලක දක්ෂිණාංශික සන්ධානයේ සහ අන්ත දක්ෂිණාංශික පක්ෂවල සහය ඇතිව පසුගිය ජූලි මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත විය.
නව නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින් සඳහා යුරෝ 3,000 දක්වා දඩ මුදල් පැනවිය හැක. කෙසේ වෙතත්, සෞඛ්‍ය, වෘත්තීය, කලාත්මක, කාලගුණික හේතූන් මත මෙන්ම විශේෂයෙන් ආරක්ෂිත ස්ථාන කිහිපයකදී පමණක් මුහුණ ආවරණය කිරීම සඳහා මෙම තහනමෙන් නිදහස හිමිවේ.

