ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන මියන්මාර ආගමික දූත පිරිසක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පසුගිය දින (නොවැම්බර් 04) හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ. අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජි නායක ස්වාමීන්වහන්සේගේ මඟපෙන්වීම හා සම්බන්ධීකරණය යටතේ මෙම හමුව සංවිධානය කර තිබුණි.
මෙම දූත පිරිස වෙත අතිපූජ්‍ය ආචාර්ය භද්දන්ත ජෝතික (Bhaddanta Jotika) ස්වාමීන්වහන්සේ, අභිධම්ම විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය පඤ්ඤාතිහාභිවංස (Pannathihabhivamsa) ස්වාමීන්වහන්සේ, අගරදගුරු මාර්කු ටින් වින් (Marcu Tin Win) පියතුමා, අතිපූජ්‍ය මහාචාර්ය භද්දන්ත චන්දවර (Bhaddanta Candavara) ස්වාමීන්වහන්සේ, අතිපූජ්‍ය මහාචාර්ය උත්තමානන්ද (Uttamānanda) ස්වාමීන්වහන්සේ ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙන්ම ක්‍රිස්තියානි රදගුරුතුමන්ලා වන ලූකාස් ඩායු ජේ (Lucas Dau Je) සහ ප්‍රැන්සිස් ථාන් හ්තුන් (Francis Than Htun) යන පියතුමන්ලා ද ඇතුළු ප්රමුඛ පෙළේ ආගමික නායකයෝ පිරිසක් එක්ව සිටියහ.
මෙම හමුවේදී ථේරවාදී බෞද්ධ රටවල් වන ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය මෙන්ම ආගමික සහ සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගන්නා ලදී. මීට අමතරව, වත්මන් මියන්මාර පරිපාලනමය තත්ත්වය තුළ උද්ගතව ඇති විවිධ අභියෝග සහ ගැටලු හමුවේ එරට බෞද්ධ භික්ෂූන් වහන්සේලා මුහුණ දී සිටින දුෂ්කරතා පිළිබඳව ද දූත පිරිස විසින් අමාත්‍යවරයා වෙත පූර්ණ ලෙස අනාවරණය කරමින් කරුණු පැහැදිලි කරන ලදී.



