මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගෙන් සුභපැතුම් පණිවුඩයක්

0
54

විවිධ ජාතීන් සහ ආගම් නියෝජනය කරන ජනතාවක් වෙසෙන ශ්‍රී ලංකාව තුළ එකිනෙකා කෙරෙහි සංවේදී වෙමින් සාමූහිකව නැගී සිටීමට මුහම්මද් නබිතුමාගේ ආදර්ශයන් ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. ජාතික මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මුහම්මද් නබිතුමන් සමස්ත ලෝකයටම දේශනා කළ සාමය, සමානාත්මතාව, දයාව සහ අන්‍යෝන්‍ය ගෞරවය වැනි උදාර ගුණාංග පිළිබඳ පණිවුඩය අග්‍රාමාත්‍යවරිය මෙහිදී විශේෂයෙන් පෙන්වා දුන්නාය.

ලෝකය පුරා පවතින දේශපාලනික, ආර්ථික හා මානුෂීය අර්බුද හමුවේත්, විශේෂයෙන්ම දරුණු යුද ගැටුම් නිසා අහිංසක ජනතාව පීඩාවට පත්වන පසුබිමකත් නබිතුමාගේ දර්ශනය වෙන කවරදාටත් වඩා අදට අදාළ වන බව ඇය සඳහන් කරයි.

සාධාරණත්වය, ආගමික ඉවසීම සහ පොදු ජන සුභසිද්ධිය උදෙසා කැපවීම ශ්‍රී ලංකාව ඇතුළු වත්මන් සමාජයට නබිතුමාගේ ජීවිතයෙන් ගත හැකි ප්‍රධාන ආදර්ශයන් වේ. යුද්ධයේ කෲරත්වයෙන් බැටකන සහ අවතැන් වූ සියලු ජනයාට සාමය උදාවන, ගෝලීය යුද වාතාවරණයෙන් මිදුණු ලෝකයක් බිහිවේවායි අග්‍රාමාත්‍යවරිය ප්‍රාර්ථනා කරයි.

මෙවර ජාතික මිලාද්-උන්-නබි සැමරුම ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මීගමුව පෙරියමුල්ල අල් හිලාල් ජාතික පාසල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මෙම සැමරුම ශ්‍රී ලංකාවේ විවිධත්වයේ සුන්දරත්වය අගය කරමින් ආගමික සහජීවනය, එකමුතුකම සහ සහෝදරත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට ලැබෙන කදිම අවස්ථාවක් වනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරිය විශ්වාසය පළ කරයි.

මානව දයාවෙන් පිරි ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝකවාසී මුස්ලිම් ජනතාවට සාමය, සෞභාග්‍යය සහ සතුට සපිරි සුභ මිලාද්-උන්-නබි උත්සවයක් වේවායි අග්‍රාමාත්‍යවරිය සිය සුභපැතුම් පණිවුඩයෙන් වැඩිදුරටත් සංදේශනය කරයි.