අදට (26) යෙදී ඇති ශුද්ධ වූ මිලාද් උන්-නබි උත්සවය වෙනුවෙන් ශ්රී ලාංකික මෙන්ම ලෝකවාසී සමස්ත ඉස්ලාම් බැතිමතුන් වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබ පැතුම් එක්කර තිබේ.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඉස්ලාමීය ‘රබී අල්-අව්වල්’ මාසයේ උදාවත් සමග සමරනු ලබන මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දින සැමරුම හුදු උත්සවයකට එහා ගිය ගැඹුරු ආධ්යාත්මික සංකල්පයක් පෙරදැරි කරගත් එකක් බවයි. වසර 23ක් පුරා අනේකවිධ කම්කටොලුවලට මුහුණ දෙමින් නබිතුමන් පෙන්වා දුන් අසමසම පරිත්යාගයේ සහ කරුණාවේ මාවත, සාමය, සහෝදරත්වය සහ යුක්තිය රජයන යහපත් සමාජයක් උදෙසා පදනම දැමූ බවද එතුමා සඳහන් කරයි.
ජාති, කුල හෝ වර්ණ භේදයකින් තොරව මානව සමානාත්මතාවයත්, සමාජ සාධාරණත්වයත් අගය කළ නබිතුමන්ගේ දර්ශනය, නීතියේ ආධිපත්යය හා සහජීවනය රජයන යහපත් රටක් ගොඩනැගීමේ වර්තමාන ගමනට මහඟු මගපෙන්වීමක් සපයන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසයි. විශේෂයෙන්ම, රට තුළ ඇති විෂ මත්ද්රව්ය උවදුර පිටුදැකීම වැනි ආචාරධාර්මික සමාජයක් උදෙසා රජය ගෙන යන වැඩපිළිවෙළට නබිතුමන්ගේ ජීවනාදර්ශය විශාල සවියක් වන බවද එතුමා පෙන්වා දෙයි.
වෛරය වෙනුවට ප්රේමයත්, විරසකය වෙනුවට සහෝදරත්වයත් අගයන නව යුගයක් කරා යන ගමනේදී නබිතුමන්ගේ මනුෂ්යත්වයේ ආලෝකය මගපෙන්වනු ඇතැයි විශ්වාසය පළ කරන ජනාධිපතිවරයා, උන්වහන්සේගේ උතුම් ජීවනාදර්ශය අරුත් ගන්වමින් කටයුතු කිරීමට එක්වන ලෙස ඉල්ලා සිටිමින් සමස්ත ඉස්ලාම් බැතිමතුන්ට අර්ථවත් මිලාද්-උන්-නබි උත්සවයක් වේවායි ප්රාර්ථනා කරයි.

