අධිකරණයට ඉදිරිපත් කිරීමේදී පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් හැඳ සිටි චීවරය ඉවත් කර ගිහි ඇඳුමින් සැරසීම මඟින් උන්වහන්සේ උපැවිදි තත්ත්වයට පත් කිරීම බරපතළ වරදක් බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ දැඩි ලෙස අවධාරණය කර ඇත.
අද (07) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළ අතර, ඥානසාර හිමියන්ට මුහුණ දීමට සිදු වූ මෙම අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කොට නිසි තීරණයකට එළඹෙන බවද ප්‍රකාශ කර තිබේ.
තව දුරටත් අදහස් පළකළ පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ,
“ඥානසාර හිමියෝ සම්බන්ධයෙන් අධිකරණය ලබා දී ඇති තීන්දුව පිළිබඳව අපේ කිසිම ගැටලුවක් නැහැ. ඒ තීන්දුවට අපි ගරු කරනවා.
නමුත් බන්ධනාගාර ගත කිරීමෙන් පසු උන්වහන්සේ නැවත අධිකරණයට ඉදිරිපත් කරද්දි උපැවිදි කොට ගිහි ඇඳුමෙන් අදාළ කටයුතු සිදු කිරීම බන්ධනාගාර ආඥා පනතට අනුව නෛතික වශයෙන් වරදක් බව එය පරිශීලනය කිරීමෙන් පසු අපට පෙනී යනවා.
බන්ධනාගාර ආඥා පනතට අනුව පෙර භාවිතා කළ ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. මේක ඉතාමත් බරපතළ කාරණයක්. සාම්ප්‍රධායික වශයෙන් අපේ නීති පද්ධතිය අධිකරණය පිළිගන්නවා. නමුත් එම තත්ත්වය පවා නොතකා තමයි මේ දෙය කරලා තියෙන්නේ.
මෙය ශාසනික වශයෙන් නරක පූර්වාදර්ශයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය වශයෙන් අපි විශේෂ අවධානය යොමු කරනවා. සාකච්ඡා කොට ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එළඹෙනවා.
අපි ඉල්ලන්නේ මේ අවස්ථාවේදී දේශපාලන මතිමතාන්තර වලින් බැහැරව කටයුතු කරන ලෙසයි. ශාසනික වශයෙන් ගත් කළ මෙය ඉතාමත් බරපතළ වරදක්.
මෙම උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කොට උන්වහන්සේ නැවතත් පැවිදි කිරීමට අවශ්‍ය නම් ඒ කටයුතු කිරීමට අපි මැදිහත් වෙනවා.
රෝම ලන්දේසි නීතියට අනුව වරදට දඬුවම් දිය යුතු වුණත්, බුදු දහමට අනුව වරදට සමාව දී යහමගට ගැනීමයි කළ යුත්තේ.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් මහා සංඝරත්නය වශයෙන් ගත යුතු පියවර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ශාසනික වශයෙන් ගත්කල මෙය බරපතළ වරදක්” යැයි උන් වහන්සේ පැවසූහ.

