කච්චතිව් ගිවිසුම් නැවත විවෘත කිරීමේ අදහසක් නෑ – ඉන්දීය මධ්‍යම රජය ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි.

0
14

1974 සහ 1976 වසරවලදී කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් ගිවිසුම් නැවත විවෘත කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තහවුරු කර තිබේ.

ඉන්දීය රජය වෙනුවෙන් පෙනී සිටි ඇටෝර්නි ජෙනරාල් (නීතිපති) ආර්. වෙන්කටරාමනී මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දැනට පවතිනුයේ යහපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් බවයි. එබැවින් ඉන්දීය ධීවරයන් මුහුණදෙන ගැටලු රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ විසඳා ගැනීමට කටයුතු කරන බවත්, කච්චතිව් සම්බන්ධයෙන් ඉන්දියාව තනිව ගන්නා තීරණ පිළිගැනීමට හෝ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට බලපෑම් කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

1974 ගිවිසුම මඟින් කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට ලබාදීම සහ 1976 ගිවිසුම මඟින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ඉන්දීය ධීවරයන්ට තිබූ අයිතිවාසිකම් සීමා කිරීම අභියෝගයට ලක් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් කිහිපයක් විභාග වෙමින් පවතී. ඉන්දීය මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත අඩුවීම හේතුවෙන් තමිල්නාඩු ධීවරයන් මෙලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වන බව ද ඉන්දීය රජය මෙහිදී අධිකරණයට දැනුම් දී ඇත.

ඊයේ (06) පැවති නඩු විභාගයේදී මෙම ගිවිසුම් ද්විත්වයේ ව්‍යවස්ථානුකූල හෝ නීතිමය වලංගුභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් තීන්දුවක් ලබා දී නොමැත. 2008 වසරේ සිට විභාග වන මෙම පෙත්සම්වල වැඩිදුර විභාගය 2027 පෙබරවාරි මාසය දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here