පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි වස්ත්‍රවලින් සැරසී අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කළ ලිපියක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද (08) පස්වරු 1.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකක්ඡාවක් පැවැත්වීමට නියමිතය.
භික්ෂුවකගේ පැවිදිභාවය අහෝසි කිරීම රාජ්‍ය පරිපාලන හෝ බන්ධනාගාර රෙගුලාසියකට සීමා වූවක් නොව මහා සංඝරත්නයට අයත් ශාසනික කාර්යයක් බව පෙන්වා දෙන මහානාහිමිවරුන්, සංඝ සභාවක් මඟින් එවැනි තීරණයක් ගෙන නොමැති පසුබිමක බන්ධනාගාරය විසින් ගනු ලැබූ එම ක්‍රියාමාර්ගය සමස්ත සම්බුද්ධ ශාසනයේ පැවැත්මට හා බෞද්ධ සම්ප්‍රදායට බලවත් හානියක් බව ඊයේ (07) යොමු කළ එම ලිපියෙන් දැඩි කනස්සල්ලෙන් යුතුව අවධාරණය කර ඇත.
එබැවින්, අධිකරණ තීන්දුවලට හා බන්ධනාගාර නීතිවලට බාධාවක් නොවන අයුරින්, අදාළ භික්ෂුව අයත් නිකාය පාර්ශ්වයේ නිර්දේශ අනුව බන්ධනාගාර ගත කාලය තුළ සහ ඉදිරි අධිකරණ කටයුතුවලදී උන්වහන්සේගේ භික්ෂූත්වයට අගතියක් නොවන පරිදි පරිපාලනමය පහසුකම් සලසා දෙන ලෙස මහානාහිමිවරුන් එම ලිපිය මඟින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

